Tuesday, September 25, 2012

තෙමෙන මිනිසුන්....


වසර ගණනාවක ඉඩෝරය නිමා විය.

මහ වැසි ඇදහැලීම ඇරඹුනි.
මෙම පින්තූරයේ සිටින්නේ තෙමෙන මිනිසුන්ය.

කොළඹට වහින බව තාම මහවිලච්චියේ මිනිසුන් දන්නේ නැත. ඒ කාලගුණ පණිවිඩ ගමන් කරන්නේ පයින් බැවිණි.

මෙතෙක් ගැටළුව වූයේ එම පයින් ගමන කිසිවෙකුත් ආරම්භ ‍නොකිරීමයි.

දැන් එය ඇරඹී ඇත. දේශපාලනය යනු පොත්වලින් පාඩම් කරගත් වචන ගොන්නක් නොව, අවංක භාවිතය බව ප්‍රභාකරන්ගෙන් පසු දකුණට පෙන්වාදුන් තෙමෙන මිනිසුනි,

ජය ගමන්....!!!

(පින්තූරය අන්තර්ජාලයේ ජයට පැතිරෙමින් තිබියදී උස්සන ලද්දකි. FUTA සමස්ත අරගලයම නාභිගත වූ අතිශය ප්‍රබල ප්‍රකාශනයකි. මෙහි අයිතිකරුවා කවුරුන්දැයි දැනගැනීමට කැමැත්තෙන් සිටිමි)

Saturday, September 22, 2012

මාලකට බනින ඉරිසියාකාරයින්ට....


මම මේ කියන්ඩ යන්නේ මාලක සිල්වාට බනින උන්ගෙන් සීයට අනූහයයි දශම තුනක් ඌට බනින්නෙ ඉරිසියාව හින්ද කියලා. (හරි හරි... ඔයා අයිති අර ඉතුරු සීයට තුනයි දශම හතට)

මාලක සිල්වා අවුරුදු විස්සක විසිඑකක කොල්ලෙකි. අවශ්‍ය තරම් මුදල් ඇත. මුදල් ඇති නිසා කෙල්ලෝ ඇත. ඇති තරම් ෆන් ගන්නට වේලාව ඇත. ඒ සඳහා ගෙදරින් කිසිදු බාධාවක් නැත. අනාගතය ගැන වදවෙන්නට දෙයක් නැත. වැඩිපුර විභාග පාස් කිරීමේ හෝ රස්සාවල් හෙවීමේ / රස්සාවල් කිරීමේ කරුමයෙන් නිදහස්ය. හැඩකාරය. ශක්තිමත්ය. තමුන්ටම හරියන නසරාණි යාලුවො සෙට් එකක්ද ඇත. ලක්ෂ හාරසීයක වාහනයක් ඇති අතර අවශ්‍ය ඕනෑම වාහනයක් සතු කර ගැනීමේ හැකියාව ඇත. කැමති ඕනෑම වර්ගයක ගිනිඅවියක් ළඟ තබා ගැනීමේ සහ අවශ්‍යනම් පරිහරණය කිරීමේ හැකියාව ඇත. ජනතා නියෝජිතයෙකු හෝ රජයේ තනතුරක් නොදරන්නෙකු බැවින් මේ කිසිදු කටයුත්තකදී එකෙකුටවත් වගඋත්තර දීමට බැඳී නැත.

එකෙකුටවත් පාච්චල් නොවී ජීවත්වීමේ හැකියාව සහිතය. ඕනෑම තැනකට රැස්පොට් එකේ බහින්නට පුළුවන් දේශපාලන පසුබිමක්ද ඇත. රටේ කිසිදු නීතියක් ඔහුට වලංගු නැත. ඕනෑම එකෙකුට ඕනෑම තැනකදී හිතෙන විදිහකට නෙලන්නට හැකියාව ඇත. හොඳම තත්වයේ ශරිරාරක්ෂකයින් හත් අට දෙනෙක් සිටින නිසා ජීවිත අවදානමක් නැත. එකෙකුටවත් බය නැති අතර කටින් ගේම ඉල්ලන කොයිකවුරුත් හැබෑවට ඔහුට බයය. ඔය මොනවා තිබ්බත් වැරදිලාවත් ක්‍රිමිනල්ම කේස්සෙකක් ආවොත්..... කිසි ගේමක් නැතුව වැඩේ ෂේප් කරල දාන්ඩ පුළුවන් සියළු විධායක බලතල භාවිතාකල හැකි ගින්දර වගේ තාත්තෙක් ඇත. එල කොල්ලෙක් ඕයි.
යකෝ මේ ඉන්නෙ අපේ චිත්‍රපටිවල චණ්ඩියා. අනික් උං මන්දා. මගේ හිරිමල් ඉලන්දාරි කාලෙදි මටත් ඕනෙ උනේ මාලක වගේ එකෙක් වෙන්ඩ. හන්දියෙදි අතදාන පොලිස් කාරයට හොම්බ රිවට් වෙන්ඩ නෙලලා පුතය වගේ ගෙදර එන්ඩ. නඩු මොකුත් නෑ.
විභාග රෙද්දවල් එකක්වත් නෑ. ජොබ් ප්‍රස්නෙකුත් නෑ. සල්ලි තියේනං අහවල් මගුලටද ජොබ්? මොකෙක්හරි පාට් එකක් දැම්මොත් ඇදල ගන්නෙ පිස්තෝලෙ. (හැබෑවට වෙඩිතියන්නෑ පව් සිද්දවෙන හින්දා. ටිකක් බය කරල එලෝනවා) නයිට් රයිඩර් කාර් එකක්ම ගන්ඩ තමා හිතං උන්නේ. එතකොට හැප්පෙන්නෙත් නෑනෙ. කෙල්ලන්ගෙන් තමා කරදරේ.

ඉතිං මං කියන්නෑ හැම හිරිමල් කොල්ලම ඔහොම හීන දකින්න ඇති කියලා. මොකද එහෙම විකෘතිතා තියෙන අය ඉඳහිට ඉන්න පුළුවන්. නමුත් වැඩි දෙනෙක් එහෙමයි. සිනමාවේ, රූපවාහිනියේ, රෙස්ලින්වල වීරයො නැගල යන්නෙ ඒක හින්දනෙ.

අපි දන්න විස්තර අනුව මාලක සිල්වා සැබෑවට ගතකරන්නෙ ඔහුගෙ වයසෙ වෙනත් කොල්ලෙකුගේ සිහිනමය ජීවිතය. ඉතිං මූ එල කොල්ලෙක් නෙමේද?
 මාලකට කලින් ඔය විදිහෙ පවර්ස් තිබ්බ පොරකට හිටියෙ දමින්ද සිල්වා. මිනිහට මිනිහවත් අමතක උනාට පස්සෙ ආපු හිස්තැනට මාලක සිල්වා මැනල කැපුව වගේ සෙට් වෙනවා. අනික දුමින්ද වගේ චන්දෙන් ආපු එකෙක් නෙමේ හින්ද මූ සිරා පොරක්. දුමින්දට නැති තාත්තෙකුත් මූට ඉන්න නිසා තවත් අනර්ඝයි.

වැදගත්ම කෑල්ල මේකයි. මූ රන්ජන් වගේ සැලෝලයිඩ් හාල් කෑල්ලක් නෙමේ. රන්ජන්ට පුලුවන්ද අඩුගානෙ හමුදාකාරයෙකුට රවන්ඩවත්? යකෝ මූ හමුදාවෙ මේජර් කෙනෙකුට ඔලුවෙන් පැනි බේරෙන්ඩ නෙලුව නේ? දේශප්‍රේමී ආන්ඩුව, සංවේදී තාත්තා, රණවිරු ප්‍රණාම.... ඔක්කොම බයිලා මූට සයිලන්ට්. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අහවල් එක, බන්ධනාගාරෙ..... ඔය ඔක්කොම දන්නවනෙ මොකද උනේ කියලා. ඒත් වෙන මොකද්ද දෙයක් උනා කියලා ගුටිකාපු එකයි අනික් උනුයි සේරම එකතුවෙලා වැඩේ ෂේප් කරලා දැම්මා. අන්න කොල්ල ෂපාන් එකේ ගෙදර. කෝමද පවර්ස්? මෙන්න රියල් චණ්ඩි.

කට්ටිය හිතං ඉන්නවා ජනාධිපති රාජපක්ෂ පුටුවෙ ඉන්නකං තමා ඔය ඔක්කොම කියලා. හ‍ඳේ තමයි. මොලේ තියෙන ඕනෙ එකෙක් දන්නවා දුමින්දගෙ වටිනාකම වගේම මුගෙ වටිනාකමත්.

අපේ බුද්ධිමත් ජනතාව ගැන ජනාධිපතිතුමා තරම් වෙන කවුරුවත් දන්නෑ. ඔය ජනතාව පොඩි දරුවෙක් කාලෙ එයාට අවශ්‍ය හැම දේකදිම තමුන් ආරක්ෂා කරන තාත්තෙක්. ඉතිං ඒ දරුවා ලොකු දරුවෙක් උනාම හොයන්නෙ මේ කෲර මනුෂ්‍ය සමාජෙන් (අහෝ...!) තමුන් ආරක්ෂා කරගන්න/සුව පහසුව සලසගන්න  චණ්ඩියෙක් සහ, අමනුෂ්‍ය සමාජයෙන් බේරෙන්න දෙවියෙක්.
ඉතිං අවුරුදු තිහේ හතලිහේ පනහේ මේ දරුවො ටිකට සර්වජන චන්ද බලය ලැබුනාම වෙනදේ ජනාධිපතිතුමා දන්න හින්දා තව අවුරුදු දහයකට මොකුත් වෙන්නෑ. හැබැයි මේ දරුපැටව් නීතිගරුක, විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදී, බුද්ධිමත් සිවිල් ජනතාවක් කියලා සිරාවටම ඇඳගෙන ඉන්න මහත්තුරු, ඔය ජනතාව වෙනුවෙන් මොනතරම් හොඳ දේවල් කරන්න හැදුවත් හැමදාම පරදින්නෙ ඇයි කියල ටිකක් හිතුවොත් වැඩේ අහුවෙනවා.
 මාලකට ඉදිරියේදි කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. අපේ කට්ටිය ආසම විදිහට අයුක්තියට අසාධාරණයට එරෙහිව කොහෙහරි පොඩි තගක් දෙකක් දාන එක. මර්වින් ඒක ගානට සෙට් කරල දේවි. කවදහරි මූ කොළඹින් වැඩිම චන්ද ගන්නවා. හොර චන්ද මැර චන්ද නෙමේ. පෙරාපු එලකිරි වගේ නියම අව්‍යාජ චන්ද. මිනිස්සු බොක්කෙන් දෙන ඒවා.

මාලකට ජයවේවා....!!
--------------------------------
කමෙන්ට් වලට උත්තර දෙන්ඩ ටිකක් පරක්කුවෙන හින්දා ලැබීමට නියමිත කමෙන්ට් කීපයකට දැන්ම තියා උත්තර කිහිපයක් දෙමි.

@ ඇනෝ,
මම කියලා තියෙන්නෙ මාලක ගැන විතරයි. ඌට පවර්ස් එන විදිහ කුජීතයි තමයි. ඉතින් ඒකට ඌ මොනව කරන්නද? පොලිසිය/හමුදාව ලව්වා වැඩේ යටගැහුවේ මාලක නෙමේනෙ. උගෙ මහඑකා. ඒකට මහඑකාට බැනපං මාවයි මාලකවයි අතෑරලා.

@ The Modern Patriot,
ඔය ඕවා කුඩු සල්ලිද කප්පම් සල්ලිද, මහජන මුදල්ද අරව මේව මාලකට අදාල නෑනෙ බං. අනික මර්වින්ගෙ ගෙදර හැදුන එකෙකුට මහජන මුදල් ගැන මොනම අදහසක්වත් තියෙන්ඩ විදිහක් නෑනෙ.

@ මාලන්,
එකඟ නෑ මචං. ඒ වුනාට උඹ හරි..!

@ මීවනපලානේ ජයරත්න,
තමුන්නැහෙටත් ශ්‍රී රාවණ සිද්ධම්...!

@ කතන්දර,
මම ඒක කලින් කියවලා තියෙනවා. තැන්කූ ලින්ක් එකට.

@ ඇනෝ,
ඔය එක්ස්ටසි බිස්නස් කතාව ගැන නං මට සැකයි. මර්වින් කියන්නෙ සල්ලි ගහක්නෙ බං. අවාරෙට වැටුනත් මිලියනයක හමාරක කොලයක්. එහෙව් එකාගෙ පුතා සල්ලි හොයන්ඩ ඔච්චර මහන්සි වෙයිද? සමහරවිට ඌ බිස්නස් කරන උන්ට සපෝට් එකක් දෙනව ඇති. අනික කලාම කියපං. උගෙ ආතල් ගන්ඩ  මහජන මුදල් කාබාසිනියා කරනවට වඩා උගෙ දාඩිය මහන්සියෙන් එක්ස්ටසි පෙත්තක් හමාරක් විකුණල ගානක් හොයාගන්න එක නරකම නෑනෙ.

@ සිත්මණ්ඩියා,
සිරාවට කියන්නෙ.  මගෙත් වයස විස්සනං, මගෙ තාත්තා මර්වින් නං, දෙකක් දාගෙන ඉන්න වෙලාවක කවුරුහරි පාට් එකක් දැම්මොත් ඌ මොකා උනත් නෙලනවම තමා. ආචාර්ය මර්වින් ඕක පැහැදිලිකලානෙ.

@ මාතලන්,
ඔව්. උඹේ ස්ටයිල් එක කොපිකරන්ඩ ට්‍රයි කලා  තමයි. ඇයි මොනව කරන්ඩද? 

Monday, September 17, 2012

දූෂකයෙකුගේ කතාවක්....


(වරක් මා අතින් උනු ලොකු ‘මිස්ටේක්’ එකක් තියෙනවා. ඒක ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. නමුත් මටම ඒක උනු එක ගැන ලොකු කණගාටුවක් ඇතුලෙන්ම දැනෙමින් තියෙනවා.)

කතානායකයා අජන්ත. අවුරුදු 42 යි. හොඳට ඇඟපත තියෙන සරම/කමිසෙ අඳින හාදයෙක්. යන්නෙ නොම්මර තහඩුවත් දරාගිය කෑලි හැලෙන සුපර් කබ් බයික් කබලක. කවදාවත් කොණ්ඩෙ පීරන එකෙක් නෙමේ. ඉගෙනගෙන නෑ. කන් පාත් වෙන්ඩ බොනවා. ස්ථිර රස්සාවක් නෑ. කාලයක් මාළු වික්කා. කසිප්පු වික්කා. හරක් බිස්නස් කලා. හොරකම් කලා. මේසන් අත්වැඩ දුන්නා. දැන් මන්දා.

දැනට අවුරුදු හතකට විතර කලින් බැන්දා.  කැන්දන් ආවෙ රෙඩිමේඩ් පවුලක්. නෝනෙකුයි එයාගෙ දුවෙකුයි පුතෙකුයි.  බැන්දට පස්සෙ පදිංචිවෙන්ඩ තැනක් නොතිබ්බ නිසා ආණ්ඩුවට අයිති පර්චස් විස්සක විතර බලෙන්ම මැටිගහලා පැලක් අටවගත්තා. මිනිහගෙ මායියත් කිසිම ලකයක් තිබ්බ එකියක් නෙමේ. මූණෙ තිබ්බෙ මෝඩ පාටක්. ඇඳුමක පැළඳුමක වත් කිසි පිළිවෙලක්, පිරිසිදුකමක්  නෑ. ඔහේ උපන්නාට වැනෙන හාදියක්. බැන්දට පස්සෙ දෙන්නට තවත් දරුවෙක් හම්බඋනා.

දැනට අවුරුදු දෙකකට විතර කලින් මොකක්හරි වැඩකට මමත් මිනිහගෙ ගෙදරට ගිහින් තියෙනවා. ඒ වෙනකොට ගෑනු මනුස්සයගෙ කොලුපැටියා ඉස්කෝලෙ හතරේ පන්තියෙ. කොලුවා ඉගෙන ගන්න දක්ෂයි කියල තමා ආරංචිය. කෙල්ල අටේ පන්තියෙ. කෙල්ල ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ අවාරෙට කොල වැටෙන්නැහේ.

පස්සෙ කාලෙක ආරංචිවුනා හැමදාම හැන්දෑවට ගෑනියි මිනිහයි අරක්කු පැකට් එකක් ගෙනත් බොනවා කියලා. මේ ආරංචියෙන් පස්සෙ මිනිස්සු මුංව පිළිකුල් කරන්න ගත්තා. ඇත්තටම මමත් උංව ගණන් ගත්තෙ නෑ.

දවසක් උදේ වරුවෙ බ්‍රේකින් නිව්ස් එකක් තටු ගහලා ගම මැදින් ගියා. අජන්තයා අර කෙලි පොඩිත්තිව දූෂණය කරලා. පොලිසියෙන් එද්දි ඌ පොඩි කොලුපැටියවත් අරං බයික් එකේ පැනලා ගිහින්. කෙල්ලව පොලිසියට එක්කං ගිහිං, පස්සෙ හලාවත ඉස්පිරිතාලෙ නවත්තලා.

එදාට පහුවදා දන්න කියන පොලිස් නිලධාරියෙක් අහම්බෙන් හමුවුනා.

“ඉස්කෝලෙන් තමා ආරංචිය දුන්නේ...... ඕක කාලයක් තිස්සෙ වෙච්චි දෙයක්. ගෑනිත් බොනවලුනේ... ගෑනි වෙරිවෙලා නිදාගත්තාම ඕකා හැමදාම ඔය කෙල්ල ගාවට යන්ඩ ගිහිං තියෙනවා.....”

“කෙල්ල කටඋත්තර දුන්නද?”

“එච්චර හරියක් කිව්වෙ නෑ. තාත්තා කලා කියල විතරයි කියන්නෙ. හොස්පිට්ල් දාල තියෙන්නෙ රිපෝර්ට් එක ගන්ඩ.....  අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ..... කෙල්ලගෙ ඇඟපත, පපුව දැක්කාම අපිට තේරෙනවා සිද්දිය... හහ්...
 ඕකා හෙට අනිද්දා අහුවෙයි.... ඇට තලන්ඩ ඕනෙ බල්ලගෙ.....
අපි බයේ ඉන්න ඕකා අර කොල්ලටත් මොකුත් කරයිද කියලා....”

මූ කිව්වෙ අවලම් හිනාවක් එක්ක.

අජන්ත ඉන්න තැනක් කවුරුවත් දැනගෙන උන්නෙ නෑ. පොලිසිය මිනිහව හෙව්වා. ගමේ මිනිස්සු කිව්වෙ අජන්තයා කොල්ලත් එක්ක කැලෑවක හැංගිලා ඇති කියලා. මාත් ටිකක් හොයලා බැලුවා.

දවස් තුනකින් විතර අජන්තගෙ ගෑනි බස්හෝල්ට් එකේ උන්නා. අර නොදරුවත් කිහිලි ගන්නං දුව බලන්න යන්වා. මම කතා කලා.

“ඔය කොහෙහරි හැංගිලා ඇති.... අර කොලුපැටියා........”

ගෑනි අඬන්න ගත්තා.

සතියක් විතර ගෙවිල ගියා. සිද්දියේ උණුසුමත් තරමක් පහවෙමින් තිබුණෙ. මම කොහෙහරි ගිහින් ආපහු එනගමන්. ‍ගේ කිට්ටුවදි දෙන්නෙක් අත වනලා මාව නැවැත්තුවා.

“පොඩ්ඩක් ඔහොම්ම යමුද වැවට...? අර අජන්තයා පොඩිඑකත් එක්ක ඇවිත් වැවේ හැංගිලා ඉන්නවලු.... ටක් ගාල යං.....!”

 “උඹලා ඌව දැක්කද?”

“අපේ සුමුදු දැකල තියෙන්නෙ.... කොල්ලත් එක්කමලු ආවෙ... අර ලඳු කැලේ හරියෙදි බයික් එක නවත්තලා.... තාම ස්ටාර්ට් කලේ නෑ.. ඒ කියන්නෙ මූ වැවේ ඉන්නවා......”

“පොලිසියට කිව්වද?”

“තාම නෑ....!”

මම පොලිසියට කෝල් එකක් ගත්තා.

“රයිට්..... දැන්ම එවනවා.... ඕගොල්ලො වැඩි කලබල නොකර ඌව ෆලෝ කරං ඉන්ඩ... දැන් එනවා.... කෙලින්ම වැවට ආවම හරිනෙ....?”

අපි වැව පැත්තට ගියා. ලඳු කැලේ දිහා විපරම් කලත් මොකුත් හෝඩුවාවක් දැක්කෙ නෑ. පැය බාගෙකින් විතර පොලිස් ජීප් එකක් වලවල් වල වැටි වැටී වැව දිහාට ආවා.

එක පාරටම වෑ කන්ද කිට්ටුව තිබුණු විශාල බක්මී ගහ පැත්තෙන් බයික් එකක් ස්ටාර්ට් වෙන සද්දෙ ඇහුනා. අජන්තයා අර කොලු පැටියවත් තියාගෙන වෑ කන්ද දිගේ ඇරල යන්ඩ ගත්තා. පොලිසිය වෑ කන්දට සමාන්තරව වැව මැද්දෙන් ඌව එලවන්ඩ ගත්තා. මිනිත්තු තුන හතරකින් දෙගොල්ලොම වැවෙන් එලියට ගිහින් අපට නොපෙනී ගියා.

අජන්තව පොලිසියෙන් අල්ලගෙන තිබුනා. ගුරු පාරක් දිගේ පොලිස් ජීප් එකත් එක්ක අර බයික් කබල එලවන්ඩ බැරි බව දැනුනාම මූ බයික් එක අතෑරලා කොල්ලවත් වඩාගෙන පොල් වත්තක් මැදින් දුවලා. කොහොමත් එතනදිම අජන්තයට හොඳටම ගහල තිබුණා.

පහුවදා මොකක්හරි වැඩකට පොලිසියට ගිහින් ආපු කොල්ලෙක් කිව්වෙ අජන්තයට නිල් වෙන්ඩ ගහලා කියලා. ඌ පොලිස් කූඩුවෙ මලමිනියක් වගේ පතබෑවිලා ඉන්නවලු.

අජන්ත මීගමුවේ ගාල් කෙරුනා. කෙල්ල පරිවාස භාරයේ දැම්මා. නඩුව මාස පහ හයක් ඇදුනා. ඔය අතරෙ අජන්තගෙ පවුල හම්බඋනා. ගෑනි අර අතදරුවත් කිහිලි ගන්නගෙන දවස් කුලියට වත්තක හරක් පට්ටියක් බලාගන්නවා. අජන්ත අරං ගිය කොලුපැටියා ඥාතියෙකුගෙ ගෙදර නවත්තලා ඉස්කෝලෙ යවනවා. සිද්දිය ගැන ගෑනි කතා කලේ අඬ අඩා.

“කවුරු කිව්වත් අජන්ත ඔහොම මිනිහෙක් නෙමේ.... ඒක මං දන්නවා... එයා ඔය ලමයි දෙන්නට පණ ඇරලා.... උනුත් තාත්ත කියලමයි කියන්නෙත්.... බොනව තමයි... ඒත් ඔය වගේ දෙයක් කරන්නෑ.... මොකා කිව්වත් මම දන්නවා....”

තවත් මාස හතරක් විතර ගෙවුනා. ඔය මනුස්සයව වරින් වර හමුවුනා. දවසක් මාව දැකල කතා කලා.

“නඩුව බ්‍රහස්පතින්දා.... එදාට ඇප දෙයි කියල කිව්වා.....”

“ආ..... ඇප දෙයි කිව්වද?”

“කෙල්ල පස්සෙ විස්තරේ කියලා තිබ්බනේ..... ඔය අපරාදෙ කරල තියෙන්නෙ ලඟදි රට ගියපු අර ජානක කියන මදාවියා..... සමහරදාට මූ රෑටත් කෙල්ලව එලියට අරං තියෙනවලු..... මාස ගානක්ම ඕක වෙලා.... පස්සෙ ඉස්කෝලෙ මිස්ට සැක හිතිලා අහලා.... කෙල්ල ඕක අර බල්ලට කිව්වාම ඌ කියලා ආයෙ ඇහුවොත් බාප්ප කොලා කියපිය.... නැත්තං තෝ මරනවා කියලා..... මේ එලදෙන.......”

ගෑනි අඬන්න ගත්තා.

“පොලිසියෙන් ගහපුවට අජන්තගෙ යටිබඩ තාම අමාරුයි. දත් වගයක් ගැලවිලා... කොන්දෙ අමාරුවකුත් එනවලු..... ඒ වරත්තු බල්ලො දවස් දෙකක් තිස්සෙ මයේ මිනිහා ඉදිමෙනකං ගහලා.......”

මගේ ඇතුලෙන්ම විදුලියක් කෙටුවා වගේ දැනුනා.

නඩුවෙන් අජන්තයා නිදහස් උනා. දැනටත් වරින්වර ඌව හමුවෙනවා. ඌ මූණ පුරෝලා හිනා උනත් මට උගේ ඇස්දෙක දිහා කෙලින් බලන්න බෑ. පොලිසියෙන් ගුටිකෑවට පස්සෙ ඌ දැන් ඇවිදිනකොට පොඩ්ඩක් කොරගහනවා. ඔය කොරගැහිල්ලට මමත් දුරකථන ඇමතුමකින් දායක වෙලා තියෙනවා.

නොදකින් මේව සිද්දවෙන හැටි විතරක්.....!

Wednesday, September 5, 2012

බීටලේගෙ සතුට...!


මේ ලිපිය නොකියෙව්වත් කමක් නෑ. කලින් බලල නැත්තං මේ වීඩියෝ එක බලන්න කියල ඉල්ලනවා. (අවුට්සයිඩර්, උඹේ ඩේටා කෝටාව අමතක කරල බලපං හරි?)


මේ වීඩියෝ එක බුකියෙ ෂෙයාර් කරපු බීට්ල් ලියල තිබුනෙ  මෙහෙම.

සතුටින් කෑගසා හඬන්නට හිතෙන්නේ මට විතරද..?
---------------------

මට මතක්වුනේ පෘථිවි වාසීන්ගෙ අඟහරු ආක්‍රමණය සිදුවුන පසුගිය දිනවල ‘ලංකා සී නිව්ස්’ වල ගිය හෙඩිමක්.


ඇමරිකානු නාසා ආයතනය විසින් ඊයේ දිනයේ අඟහරු ග‍්‍රහයා වෙත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ රියට දායකත්වය සැපයූ විද්‍යාඥයින් අතර ශ්‍රී ලාංකිකයකු වන ආචාර් සරත් ගුණපාල මහතා ද වන බව වාර්තා වේ.

අඟහරු මත ජීවය ඇත්දැයි සොයා බැලීමේ අරමුණින් නිර්මාණය කර ඇති කියුරියෝසිටියානයේ සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ සරත් ගුණපාල මහතා ඇතුළු කණ්ඩායම විසිනි.


ඒ දවස්වල ෆේස් බුකියෙත් ඔය පුවත ගැන එක එක විදිහෙ බැනර් දාල තිබුණා ‘ලාංකිකයෙක් වීම ආඩම්බරයක් නං ෂෙයාර් කරන්න’ කියල.
මේ දෙකේ ලොකු පරහක් තියෙනව නේද?

මෙතන ඉඳං ලියන්නෙ බීටලේට.

අපි මෙහෙම කරමුද බීටලේ? දවසක රෑ අටට විතර ලංකාවෙ හැමෝම එක තැනකට ගෙන්නල මේ වීඩියෝ එක පෙන්නමු. උඹ හිතන්නෙ මොනව වෙයිද?
මට හිතෙන්නෙ මෙහෙමයි.

සීයට පනහක් විතර ආපහු ගෙදර යයි ‘මලී’ බලන්ඩ තියෙනව කියල. තව සීයට තිහක් විතර “රොකට්ටෙකක් යවනව නේ? මොකද ඔතන වෙන්නෙ?” කියල අහයි. (ඒ ‘මලී’ නොබලන අය කියල හිතාගනිං) සීයට දහනමයයි දශම පහක් ලොකු විශ්මයකින් සුද්දංගෙ වැඩ කිඩ බලං ඉඳී.

උඹත් ඇතුළු සීයට දශම පහක් කෑ ගහල අඩයි.

ඔය වීඩියෝ එකේ අන්තිම හරියෙදි, පැරෂුට් වලින් ඔය යානය අඟහරු උඩට පතිත කරද්දි උඹට එකපාරටම ලොකු බයක් හිතුන නේද අර සොච්චං පැරෂුටේ කඩාගෙන ගිහින් ඕක අඟහරු පෘෂ්ඨයේ වැදිල කුඩු සංසාර වෙලා යයි කියලා....? පෘථිවිවාසීන් අවුරුදු ගානක දැවැන්ත පරිශ්‍රමයක් දරා හදපු..... කිලෝමීටර් මිලියන 225 ක් දුරකදි..... අන්තිම මොහොතේ...... තත්පර ගානකිං.....?

උඹට අන්තිමට අඬන්න හිතුනෙ ඒකයි.

අපි හැමෝම අයත් මානව වර්ගයාගෙ, අපේ කාලෙ අපේ මිනිස්සු, අවුරුදු ගානක් අමු කට්ටක් කාල, දැවැන්ත මහන්සියකින්, මිනිස් වර්ගයා බිහිවූ දා පටන් එක්රැස් කරගත් මුළු දැනුමම එක්තැන් කරල කරපු මේ වැඩේට ඇ‍ඬෙන්න නම්, මේක අපේ වැඩක් කියල දැනෙන්න ඕනෙ. මං කියන්නෙ ලංකාවෙ අති බහුතරයකට එහෙම දැනෙන්නෙ නෑ බං. මිනිසා අඟහරු ජයගත්තා කියන එකට වඩා, කියුරියෝසිටි යානයේ කොටසකට දායක වුන ‘ශ්‍රී ලාංකිකයෙක් වෙන’ සරත් ගුණපාල මහත්තයව ෂෙයාර් වෙන්නෙ ඒකයි. මෙහෙ වැඩිපුර ඉන්නෙ ලංකාවාසී සිංහලයො/දමිලයො/මුසල්මානුවො මිසක් ලෝකවාසී මානවයො නෙමෙයි. ඒකට ගොඩක් හේතු ඇති.

අපේ මිනිස්සු විශ්වයට නිරාවරණය වෙන්න තව අවුරුදු සීයක් හමාරක් යයි බං. ගෝලීයකරණය ලංකාව ඇතුලෙ විකාරයක්. අපි හිතුවෙ මේ කොදෙව්ව වටකරගෙන ඉන්න උලව් ඉන්දියන් සාගරයට අන්තර්ජාලය ඇටෑක් කරයි කියලා. අන්තිමේදී මහපොලොවෙවත් නැති ගෝත්‍රවාද මේකෙ ගොඩගැහිලා. පෘථිවිවාසීන් විදිහට අඟහරු ඉඳුල් කිරීමේ ජයග්‍රහණය බෙදාගන්න තැනක් වෙනුවට, අපේ ගෝත්‍රයේ මිනිහා තෝරලා සුබපතාගන්න තැනක් වෙලා. ඒ මහා වික්‍රමය කරපු ‘අපේ කාලයේ මිනිස්සු’ පර‍දේශක්කාරයො කරලා, උන්ට වඩා විශ්මිත වැඩ කල බව කියන අපේ අතීත අවතාර ගැන පම්පෝරි ගහන තැනක් වෙලා.

උඹ දකින්න ඇති. දැන් දැන් හැමෝම වගේ මහින්ද රාජපක්ෂට බනිනවා ‘රට’ විනාශකරනවා කියලා. රෙද්ද තමයි. ඊළඟ ජනාධිපතිවරණෙ කිට්ටු කරලා ඉන්න තැනකින් වරෙං මහින්දට චන්දයක් දෙන්ඩ.

Saturday, September 1, 2012

අපේ කුකුල් බිලිපූජාව...!

ශිෂ්ට මිනිහෙක්...!
මා කුඩාකල අසල ගමක දේවාරූඪයෙන් සාස්තර කියන තැනක් විය. ම‍ගේ මවද එහි ගොස් සාස්තර ඇසුවාය. ඇයට කියා තිබුණේ අප නිවසට බලගතු හූනියමක් කර ඇති බවකි. ඒ සඳහා කුමක්දෝ ශාන්තිකර්මයක් කල යුතු බව පවසා යම් දිනකදී නැවත පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුනි. එදිනට ගෙන යා යුතු ‘පූජා භාණ්ඩ’ ලැයිස්තුව මමද කියවීමි. දෙහි, අහු, පුහුල්, රතු රෙදි, කපුරු, පොල් ඇතුළු මහා ලැයිස්තුවක කුකුලෙක්ද විය.

අදාල දිනයේදී යම් පුද්ගලයෙකු උදෙන්ම කුකුලා ගෙනත් දුන්නේය. ගෙනෙන විට උගේ දෙපා බැඳ තිබුණි. මගේ මව උගේ දෙපා ලිහා එක් කකුලකින් පමණක් කුඩා පඳුරක ගැට ගැසුවාය. ඌ හොඳින් වැඩුනු හොඳ ලස්සන වෛවර්ණ ගම් කුකුලෙකි. මම ඌට ඇළුම් කලෙමි. දිනය පුරා කන්නට විවිධ දේ ගෙනගොස් දුනිමි. ඌ පහසුවෙන් මා සමග මිතුරු විය. ඌ හැමදාම අප නිවසේ තබා ගැනීමට මට උවමනා විය.

එහෙත් යන්තම් අඳුර වැටෙද්දී නැවත උගේ කකුල් දෙක බැඳුනි. විශාල පන් මල්ලකට ඌව දමාගත් අපි අනෙකුත් අඩුම කුඩුමද රැගෙන දේවාලයට ගියෙමු. ශාන්ති කර්මය ඇරඹුණි. රාත්‍රී මැදියමේදී පමණ මගේ මිත්‍ර කුකුළා ආරූඪයෙන් සිටි කපුවාගේ අතට ලැබුණි. මොනවාදෝ මහ හඬින් දෙඩවූ ඔහු එක්වරම කුකුලාගේ හිසෙන් අල්ලා වට හතඅටක් අහසේ කරකවා උඩින් යනලෙස විසිකලේය. වික්ෂිප්තව සිටි මගේ හිස උඩින් ඇදී ගිය ඌ ‘දොහ්’ යන හඬින් යමක වැදී බිම ඇද වැටෙනු මට ඇසුනි. ඒ මා දුටු පළමු බිළි පූජාවයි.

එම දේවාලය දැන් නැත. ඒ වෙනුවට වෙනත් දේවාල පහක් හයක්ම අලුතින් ඇරඹී ඇත. ඉන් දෙකතුනකම මෙවන් කුකුල් ශාන්තිකර්ම ඉඳහිට තවමත් පැවැත්වේ. ප්‍රදේශයේ ප්‍රධාන දේවාලය මුන්නේශ්වරමයි. එය හින්දු කෝවිලක් නොවේ. සිංහල, දෙමල, හින්දු, බෞද්ධ කාගේත් ප්‍රධාන දේවාලයයි. මා දන්න දා සිට එහි බිලිපූජා පැවැත්වුනි. මුන්නේෂ්වරම් මංගල්‍යයට බාරහාර ඔප්පු කිරීමට කුකුලන් උස්සාගෙන වැඩිපුරම එහි ගියේ සිංහල බෞද්ධයන් බව මා දනිමි. කුකුලෙක් නැතිනම් පොල් පැලයකි. ඒ ප්‍රාණයට ප්‍රාණයක් ඔප්පු කිරීමටය. සංකේතීයව ගතහොත් එයද බිලි පූජාවකි.

මෙම මංගල්‍ය සමයේදීද දේවාල භූමියේ පිරී ඉතිරී ඇති ජනයාගෙන් මේ මොහොතේද සීයට හැත්තෑවක් වත් සිටින්නේ සිංහල බෞද්ධයන් බව ස්ථිරව කියමි. මෙවර දේවාලයට එන්නන්ට අතිරේක වාසියක්ද ඇත. දේවාලයට පඬුරක් දමා කාලි මෑණියන්ගේ ආශීර්වාදයද රැගෙන, පැමිණි වාහනයෙන්ම වාරියපොල ධාතු ප්‍රදර්ශණයටද යා හැකිය.
අයියෝ හෙල උරුමයේ සල්ලි...!

බිලිපූජා විරෝධය එලියට එන්නේ ශිෂ්ටකමේ අරගලයක් වශයෙනි. එහෙත් එහි යථාර්තය එලියට ආවේ කවුදෝ හාමුදුරුනමක් ගිනිතබාගෙන මිය යන බවට අභියෝග කිරීමත් සමගය. බිලිපූජාව අශිෂ්ටය. සිවුරට ගිනිතබාගෙන මියයාම ඊටත් වඩා අශිෂ්ටය. එකෙකුට එකෙක් දෙවෙනි නැත.

මගේ මව මේ ලියන මොහොතේ වාරියපොල ප්‍රදේශයේ ධාතු ප්‍රදර්ශන පෝලිමේ හිඳී. මෙයට ටික වේලාවකට පෙර දුරකථන ඇමතුමක් දුන් ඈ තදින් වහින බවද, තවත් කිලෝමීටර් තුනක් පමණ පෝලිමේ යාමට ඇති බවද කියා සිටියාය. මා කියා සිටියේ ධාතු බැලිල්ල කෙසේ වෙතත් තෙරපීමට ලක්වන්නට සිදුවන්නේ නම්  ආපසු හැරී එන ලෙසයි. නමුත් ඒ උපදෙස් පලක් නැති බව දනිමි. කපිල වස්තු පුර ධාතූන් සියැසින් දැක ගැනීම ඇගේ ජීවිතයේ පරම අවස්ථාවකි. වැස්සත්, තෙරපුනත් ඇය එම අවස්ථාව අතහරිනු නැත. ඈ මෙන්ම ඔය පෝලිමේ සිටින බහුතරයක් එසේය.

මිනිසුන්ට ආගම අවශ්‍ය වන්නේ පවතින යථාර්තය සමග ඇති නොගැලපීමක් පුරවා ගැනීම පිණිසය. සොෆී ට ඇති ප්‍රස්න ලෝකයේ වෙන කාටවත් නැත්තේ ඒ නිසාය. අප පවුලේ අය විසින් මෙයට කලකට පෙර ඉහත සඳහන් කල කුකුල් බිලිපූජාව කලෙමු. ඒ ලෞකික ජීවිතයේ අපට විසඳාගත නොහැකියයි අප සිතූ ගැටළු රැසක් විසඳාගැනීම වෙනුවෙනි. ඒ මොහොතේ එය බිඳක්වත් අශිෂ්ට වූයේ නැත. මේ මොහොතේ මගේ මව ධාතු ප්‍රදර්ශන භූමියේ දුක් විඳින්නේ, ඇගේ මරණින් පසු ඇතිවනු ඇතැයි ඇය සිතන ගැටළු වලට විසඳුම් පිණිස වන්නට පුළුවන. එයද අශිෂ්ට නැත. යම් හෙයකින් පිටසක්වල ජීවියෙක් පැමිණ උඹලා ඔය පෝලිමේ තෙරපිලා, වෙන එවුන් පාගගෙන, මරාගෙන නොදන්න මිනිහෙකුගේ ඇටකටු බලන්ඩ පොරකන එක කොච්චර අශිෂ්ටද කියා ඇසුවොත් අපි ඌට ගසා පන්නමු.  ශිෂ්ටත්වය සාපේක්ෂය.

බිලි පූජාවට මා විරුද්ධය. මට අනුව එය අශිෂ්ට බැවිනි. එහෙත් බිලිපූජා වලට එරෙහිව අද දවසේ එලියට බහින්නන් සමග සිට ගැනීම මා ප්‍රතික්ෂේප කරමි. මේ විරෝධය වෙන එකකි. මුන්නේෂ්වරම් බිලිපූජා කාටත් පෙනෙන්නට ගන්නේ ඊනියා යුද ජයග්‍රහණයත් සමගය. හලාවත මිනිසුන්ට මැජික් නොවූ මෙය, මැජික් වන්නේ වාරියපොල මිනිස්සු පාගා මරාදමමින් ධාතු බලන බෞද්ධයින්ගේ ඡන්ද වලින් බලයට එන හෙල උරුමයටය. ඊළඟට පාපයට බිය නිසාම නොව, සතුන්ට බිය නිසා සර්පයෙකුට කෝටුවකින් ගසන්නට වත් පණ නැති සයිබර් වීරයින්ටය.

මා සිතන පරිදි ඔවුන්ට අනුව මුන්නේෂ්වරමේ සිදුවන්නේ බිලිපූජාවකට වඩා දෙයකි. යුද සමයේදී සිංහල රුධිරයෙන් අපි නොදන්න විනෝදයක් ලැබූ දෙමළු, දැන් මුන්නේෂ්වරමේ සත්ව රුධිරයෙන් තවදුරටත් එම විනෝදයම ලබමින් සිටිති. ගිනිතියාගෙන මැරෙන්නට යන්නේ ඒ විනෝදයට එරෙහිවය.

පසුගිය දිනවල මෙම ප්‍රදේශයේද මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් පළමුවෙනිදා මර්වින් පැමිණ මුන්නේෂ්වරමේ දෙමළුන්ට ගේම දෙන හැටි බලන්නට සැදී පැහැදී සිටියහ. ඔවුන් වැඩි දෙනෙක් ‘බිලි පූජාව නෑලු නේද බං?’ කියා අද ඇසුවේ මැලවුනු මුහුණිනි. මේ පොළොවේ යතාර්ථයයි.

පෝලිමක පිළිවෙලකට හිඳ ආගමික වස්තුවක් වන්දනාමාන කරගන්නට තරම්වත් විනයක් නැති අශිෂ්ටයන් රැලක්, තවත් ජාතියක ආගමික වතාවතක් අශිෂ්ට යැයි කියා හංවඩු ගැසීම තේරුම්ගත හැකි වෙන ක්‍රමයක් මා දන්නේ නැත.

පින්තූරය - sinhala24news.com

Follow by Email