Tuesday, August 21, 2012

මල කෙලියයි.... අලි ඇවිත්...!


යන්තම් මීට පැය එකහමාරකට විතර කලින් අපේ ගමට අලි ආවෝය.

මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍ය සමයට (හෙවත් අගෝස්තු නියඟයට :D) අලි රංචුවක් දැදුරු ඔය නිම්නය දිගේ පහලට (හෙවත් දේවාලය දෙසට) පල්ලම් බැසීම සෑම වර්ෂයකම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. ගිය වසරේද, ඊට කලින් වසරේද, ඊටත් කලින් සෑම වර්ෂයකම මෙය අනිවා සිදුවෙමින් ආ දෙයකි. පසුගිය වසරේද අප ගම ආසන්නයේ නිවෙස් කිහිපයක වී බීමෙන්ද, නාඹර පොල්ගස් සෑහෙන තොගයකට වග කියමින්ද, කෙසෙල් වැනි වගාවන් විනාශ කරමින්ද මුන් සෑහෙන තොයිලයක් නැටුවෝය.

මෙවර පැමිණ ඇත්තේ අලි තුන්දෙනෙකි. ආරංචි විදිහට තුන්පත් රෑනකි. මුං පැමිණි බවට මුල්ම ආරංචිය ලැබුණේ මීට දින හතරකට පමණ කලිනි. තැනින් තැන ජල වක්කලම් සහිත ඔයක් දෑලේ වූ ලඳු කැලෑවක් සහ ඔය දෙපස පුරන් කුඹුරු ආශ්‍රිතව උන් සිටින බවට ආරංචිය ලැබුණි. ඊයේ දවස මුන් ගතකොට ඇත්තේ ඔයට මායිම් වන විශාල පොල් වත්තකය. මොකක් හෝ හුට්ටප්පරයක් නිසා මුන් කුලප්පු වී අද ගම් වැදී ඇත. (වන ජීවී කතාවක්ද එහෙන් මෙහෙන් ඇසේ)

පලමු ආරංචිය ලෙස ලැබුණේ අලි තුන්දෙනෙකු මා නිවසට නැගෙනහිර දෙසින් වූ බුලත් කොටුවක විශාල පොල්අතු පැලැල්ලක්ද, කම්බි වැටවල් දෙකක්ද කඩාගෙන උතුරු දිශාවට වන්නට තිබූ අසල පොල් වත්තකට ගිය බවය. එම පොල්වත්තේ මුරකරුට දුරකථන ඇමතුමක් දුන් විට 
“කොහෙද....? අලි...??... කීයටද..”
 කියමින් ඌ මොනවාදෝ පෙරලාගත් හඬක් ඇසුනු අතර දුරකථනය විසන්ධි විය. (වතු අයිතිකාරයා දන්නවානම් මූ හෙටම ගෙදරය. වත්තට අලි ආපු එක නොදන්නා එකා හොරු කොහොම අල්ලන්නද?) තවත් මිනිත්තු දෙකකින් මුර මඩුව අසල දැවැන්ත ගිනි ගොඩවල් තුනක් දැල්විණි. පහුගිය දවස් දෙකේ විතර වත්තේ වැඩකරන ගෑණුන් ලවා මොකද්දෝ වැඩකට එකතුකරවන ලද පොල් අතු ගොඩවල් ටිකට මූ ගිණිතබා ඇති හැඩය.

ඒ සමගම නිවසට දකුණු පසින් පිහිටි වැව දෙසින් රතිඥ්ඤා හඬ ඇසුනු අතර කීප දෙනෙක් කෑ ගසනුද ඇසිනි. විපරම් කොට බැලීමේදී වැවේ අලි දෙන්නෙක්ලු. ලැබුණු ඇමතුමකට අනුව මුන් මයියොක්කා ගස් වගයක්ද ගලවාගෙන ඇමතුම දෙන එකාගේ කණ ගාවින් ගිහින් ඇත. එත් කළුවර හින්දා පෙනී නැත. (මේ අර වත්තට ‘ගිය’ උන් නොවන බව සලකන්න. වත්තට ගිය උන් උතුරු දෙසට ගිය අතර නැවත ගම මැදින් ආවේ නැත.)

තවත් මිනිත්තුවකින් විතර කියවුනේ වැවට තවත් කිලෝමීටරයක් විතර දකුණට වන්නට වෙල්යායක තවත් අලි දෙන්නෙක් ඉන්න බවය. උන්ව ටෝච් එක ගැහුවත් පේන බව ඇමතුම දුන් එකා දිවුරා කිව්වේය. ඇමතුම දෙන විටත් ඌ සිටියේ ගෙදර ගෑනි බනින නිසා ටෝච් එක ගහන්ඩ යන්ඩ බැරි විස්සෝපයෙනි.

ඒ  එක්කම වගේ ගමේ බටහිර පැත්තෙන් බල්ලන් බුරන්නටද, රතිඥ්ඤා දමන්නටද වූ අතර යම් ඝෝෂාවක්ද ඇසුනි. අනිවා ඒ පැත්තෙත් අලියෙක් හමාරක් ඉන්නවා වෙන්නට පුළුවන. මෙ ලියන මොහොතේදී අලි කොහේ ඉන්නවාදැයි නිශ්චිත ආරංචියක් නැති අතර හතර පැත්තෙන්ම වරින් වර රතිඥ්ඤා හඬ ඇසෙයි.

දැන් ඔබට වටිනා අලියා ලකුණ සහිත කැප් තොප්පියක් දිනාගත හැකි දවසේ පැණය මෙයයි.

(ගමට ආපු) තුන්පත් රෑනේ අලි කී දෙනෙක් ඉන්නවාද?

--------------------------------------------------------------
මීට කලින් ලියපු අලි කතා -

Wednesday, August 15, 2012

බෝල්ටයියාගේ බැටන්නෙක


ඔලිම්පික් අහවරය. ඇමරිකාවයි චීනෙයි කොහොමත් දිනුංය. එංගලන්තෙ ජය පරාජය ගැන මොකුත් කියන්ඩ තව අවුරුද්දක්වත් යන්ඩ වෙනවාය. ඔලිම්පික් එක්කල ඔලිම්පුක් කියල ජාතියකුත් පෙන්නා ඇති හෙයින් අපේ අයියලටත් නරකක් වෙලා නැත.

කොහොම උනත් මෙවර ඔලිම්පික් එකේ සිද්දවුන විශේෂම සිද්දිය අපේ වීර බෝල්ටයියාගේ බැටොන්නෙක සම්බන්ධ කේස්සෙකයි. පර සුද්දන් විසින් පවත්වාගෙන යන ඊනියා ජනමාධ්‍ය විසින් කුජීත ලෙස වසංගන ලද මේ සිදුවීම් මාලාවේ ඇත්තටම සිද්දවෙච්චි දේ ඒ මොහොතේ ඒ ආසන්නයේම සිට තරඟ නරඹමින් සිටි මගේ ශ්‍රී ලාංකික හිතවතෙකු විසින් මාවෙත ඊමේලයක් මගින් දන්වා ඇති අතර, ඔබගේ තොරතුරු දැනගැනීමෙ පරම අයිතිය වෙනුවෙන් එය පහත පලකොට ඇත.

---------------------------------

චාමියා මටනම් මේවා දාන්න බයයි... මගෙ අඩෙන්ටිටි එක මෙහෙ සුද්දො ගොඩක් උන් දන්නවා... , උබේ අයිඩෙන්ටිටි එක සුද්දො වැඩියෙ දන්නේ නැතිඑකේ, හොද විදියකට මොඩිෆයි කරලා ඕන් දාපන්... මේන් වැන්දා මගේ නමක් නම් ගාවන්නවත් එපා. 
බුදු සරණයි...!!!

==========================

උසේන් බෝල්ට් මීටර සීය වැඩිකීරීම හතර තරඟයෙන් ජයගත් පසු යස්ටිය ගෙදර ගෙනියන්න ඉල්ලූ බවත්... එය ඔලිම්පික් ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඔලිම්පික් තරඟ තීරකවරු එයට විරුද්ඬ වී උසේන් බෝල්ට්ගෙන් යස්ටිය ලබාගත් බවත්... මේ අතර තරඟය නරඹමින් සිටි හැරී කුමරුගේ එක දුරකතන ඇමතුමකින් උසේන් බෝල්ට්ට යස්ටිය නැවත ලැබුන බවත් දැන් ප්‍රසිද්ද කරුණකි... මේ දුරකතන ඇමතුම් හුටපටය හැරිහැටි ලන්ඩන් මාධ්‍යය ආවරනය නොකල නිසා ඔබගේ පහන් සංවේගය පිණිස සිද්ධිය සිදුවූ අයුරු නාට්‍යානුසාරයෙන් අප මෙසේ දක්වමු...

ජංගම දුරකතනයක් වනමින් උසේන් බෝල්ට් නැවත ට්‍රැක් එකට පැමිනේ... ඔහු පිටුපසින් කුපිත වූ දේශප්‍රේමී ජැමෙයිකානුවෝ රැලකි...

උසේන් බෝල්ට් :- "කවුද මේ... මෙතන ඉන්න සීනියර් ට්‍රැක් ඔෆීසියල් කවුද..?"

එසේ අසමින් ඔහු ජංගම දුරකථනය වනමින් ඔලිම්පික් නිලධාරියෙක්ව හොයයි...

"කවුද සීනියර් ට්‍රැක් ඔෆීසියල්..?" 

"මේ ඉන්නේ මෙතන..."

අයෙක් තවත් ජංගම දුරකථනයක රැදී සිටින වියපත් සුද්දෙක්ව පෙන්වයි... උසේන් බෝල්ට් ඔහු අතට ජංගම දුරකතනය ලබා දෙයි...

වියපත් සුද්දා : "සර්... සර් ඉන්න සර් පොඩ්ඩක් මේ... හැරී කුමාරයා කතා කරනවා කියලා මට උසේන් බෝල්ට් මහත්මයා ෆෝන් එක දුන්නා සර්... මෙතන ඉන්නවා සර් උසේන් බෝල්ට් මහත්තයා..."

උසේන් බෝල්ට්: "කතා කරන්න කතා කරන්න... ඕකට ආන්සර් කරන්න..."

වියපත් සුද්දා උසේන් බෝල්ට්ගේ ජංගම දුරකතනය අනිත් කනේ තියා ගනි...

වියපත් සුද්දා:-  "සර්..."

හැරී කුමරු:- "හෙලෝ..."

වියපත් සුද්දා:-  "සර්..." 

හැරී කුමරු:- "ඔතෙන්ට යන්න කිව්වේ කවුද..?"

වියපත් සුද්දා:-  "සර්... සර්..." 

හැරී කුමරු:- "ඔතෙන්ට යන්න කිව්වේ කවුද..? මම ඔලිම්පික් ලොක්කට කිව්වා... ඔය පලාතේ යන්න එපා..ඔය තරඟ තියෙනකොට මොකටද ඔතෙන්ට ගියේ...?"

වියපත් සුද්දා:- "සර් ඔලිම්පික් ලොක්කා කිව්වේ එන්න කියලා... ඒකයි සර් ආවේ... අපි මේ බැටන් සේරම ගන්න එපැයි සර්..."

හැරී කුමරු:-  "වහාම ඒ බැටන් එක දෙන්න... තීරකයෝ එක්කෙනෙක්වත් තියන්න එපා... විත්ඩ්‍රෝ කරන්න හැම කෙනාවම..."

වියපත් සුද්දා:- "හොඳමයි සර්... හොඳමයි... සර්..."

හැරී කුමරු:- "වැඩක් නැති වැඩක්නේ...මොනවටද ඒ බැටන් ගන්න ගියේ..."

වියපත් සුද්දා:- "රයිට් සර්... රයිට්..."

හැරී කුමරු:- "මොනවටද බැටන්...ඔලිම්පික් ලොක්කව මම අද අස් කරනවා..."

වියපත් සුද්දා:- "හොඳයි සර්... සර්..."

හැරී කුමරු:-  "යනවා ඔතනින් ඔක්කොම..."

වියපත් සුද්දා:- "හො..හොඳයි සර්... හොඳයි..."

හැරී කුමරු දිගටම බැනගෙන යයි...වියපත් සුද්දා බලෙන්ම වගේ දුරකතනව උසේන් බෝල්ට අතට දෙයි...උසේන් බෝල්ට් මාරු වෙද්දී දේශප්‍රේමී ජැමෙයිකානුවෝ ඔලිම්පික් තීරකයාගේ තොප්පිය ගැලවෙන්න පහර දෙති...

---------------------------------

ඔන්න ඔහොමලු උනා කියන්නෙ. මේ සිද්දිය ගැන අන්තර්ජාලයේ වුවද කිසිදු සඳහනක් මෙතෙක් සිදුව නැති අතර, වෙනත් සමාන්තර විශ්වයක වෙනත් බෝල්ටයියෙකු විසින් විසින් කරන ලද මීට සමාන සිද්දියක් පහත වීඩියෝවේ දැක්වේ.

Thursday, August 2, 2012

‘රාවණා’ - සුපිරි සතුරෙක් වෙනුවට සුපිරි වීරයෙක්....


මා ‘රාවණා’ යනුවෙන් යමෙක් සිටියා යයි විශ්වාස නොකරමි. එහෙත් රාවණාට අතිශය කැමැත්තෙමි. ‘මී ජයා’ කරන වැඩේට කැමැත්තෙමි. වෙනත් අර්ථයකින් ඒ තරමටම අකමැත්තෙමි.

------------------------------------

මා දන්නා එක්තරා පවුලක් සිටී. එකල එහි බොහෝ අඬදබර විය. අඬදබර වලට හේතුව සොයන්නට ගෙහිමියාගේ බිරිඳ පේන කියන්නෙක් වෙත ගියාය. පේනය හරියටම කිව්වේය. හූනියමකි. එම පවුල ක්‍රමයෙන් සාර්ථකවීම උහුලාගන්නට බැරිව කරන ලද්දකි. එය කර ඇත්තේ නිවසට බටහිර පැත්තට වන්නට පදිංචි අයෙකි. තවත් රූප ලක්ෂණද කියා ඇත. ඇය තත්පර කීපයක් තුල හූනියම්කාරයා හඳුනාගත්තාය.

ඊළඟ දිනයේ සිට පවුලේ අඬදබර සියල්ල නැවතිනි. අනතුරුව ගෙවුනු වසර දෙකක පමණ කාලය පවුලේ සියල්ලෝ එකාවන්ව හූනියම කැප්පවීය. වරක් දෙකක් නිවස ආරක්ෂා කරවූහ. අර හූනියම් කාරයා සමග පොඩි පොඩි වලිද දාගත්හ. හූනියම කැපී ආපසු හූනියම්කාරයා වෙත ගොස් ඇද්දැයි සලකුණු පරීක්ෂා කලහ. එම වකවානුව තුල එම පවුල තුල වෙනත් කිසිදාක නොවූ සමගියක් මම දුටුවෙමි.

වසර දෙකකින් පමණ හූනියම්කාරයා පදිංචිව සිටි ඉඩමද විකුණා දමා යන්නට ගියේය. හූනියම ආපිට පලදී නොවේ. නගරාසන්නයේ වඩා පහසුකම් ඇති කුඩා ඉඩමක් මිලදී ගැනීම නිසාය. සති කිහිපයක් තුල පැරණි ආරවුල් නැවත මතුවිය. ඒවා පෙර කවරදාටවත් වඩා දරුණුවී තිබුණි. මෑතකදී එම පවුලේ එක්තරා පුද්ගලයෙක් කෘමිනාශක පානය කොට හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලැබීය.

------------------------------

පැවති යුද්ධය සමයේ උග්‍ර රාජපක්ෂවාදීන් වූ මගේ මිතුරන් බොහෝ දෙනෙකු අද වන විට අංශක එකසිය විසි තිස් ගණන්වලින් ආපසු හැරෙමින් පවතී. යූ.ඇන්.පී ය දිශාවට හෝ ජ.වි.පෙ දිශාවට නොවේ. කිසිවෙකුත් නැති අරාජික පෙදෙසකටය. මුහුණු පොතේ ගතහොත්.....  ..?.. ඔව් ඔව්... ඔයයි... අරයයි.. අරයයි... තව.... :)

හේතුව හූනියම්කාරයා පදිංචිය හැරයාම බව සිතමි.

එකල ලංකාවාසී අපට සුපිරි සතුරෙකු සිටියේය. වචනයේ සැම අර්ථයකින්ම සතුරෙකි. කිසිදු අනුකම්පාවක් නැති, තොග ගණනේ අහිංසකයින් මරාදාන, කිරි සප්පයින්ව පොලොවෙ ගහන, කඨෝර උඩු රැවුලක් සහ මරුමුස් මූණක්..... ඒ වගේම ඇත්තටම බලසම්පන්න. (එහෙම හතුරෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕනෙ)

ඇත්තටම ඒ දවස්වල එහෙමටම කියා වෙනත් ප්‍රශ්න තිබුණේ නැත. එබැවින් හැමෝම එකතුවී හූනියම කපා හූනියම්කාරයා එලවා කිරිබත් කා වැඩේ ක්ලෝස් කලෙමු. බාහිර ප්‍රශ්නය අහවර විය. දැන් ගෙදර ප්‍රශ්න පෙනේ. අන්තිමේ බලද්දි ගෙදර ලොක්කා අරූටත් හපන්.

රට පුරා කුඩු කාරයින් පාතාලයින් ආන්ඩුවේ ලයිෂන් පිටම වැඩ අරඹා ඇත. රටේ සියළු සම්පත් ඉතා සුළු පිරිසක් අත ශීඝ්‍රයෙන් සංකේන්ද්‍රණය වෙමින් පවතී. රට දිනෙන් දිනම දැවැන්ත ණය උගුලකට ඇදගෙන යනු ලබයි. ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු ඕනෑම මොහොතක අතුරුදන්වීමේ අවදානමක් ඇත. ඕනෑම අයෙකුගේ අවසන් විශ්වාසය වී තිබූ නීතියේ ආධිපත්‍යය මහ දවල් කුඩුපට්ටම් කොට ඇත. මේ සියල්ල නොසලකන්නෙකුට වුවද දිනෙන් දින උග්‍රවන අධික ජීවන බර මනාව දැනෙමින් පවතී. වඩාත් භයානක දෙය නම් ඉඟුරු දීලා ගන්නට වන්නේ මිරිස් වීමයි.

මේ මෝදුවන්නේ අසහනයයි. අපේක්ෂා භංගත්වයයි. අරාජිකත්වයයි. ඔද්දල් සමාජ දේහය පුපුරා හැලෙන්නට පෙර වහා පිළියමක් අවශ්‍යය. දන්නා පිළියම් ඇත්තේ එකකි.

තවත් සුපිරි සතුරෙක්.......!

විමල් වීරවංශ ඇමති සහෝදරයා, හෙල උරුමය, ගරු කෙහෙලිය ඇමතිතුමා ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා විවිධ අහිංසක උත්සාහයන් දැරූ බව ඔවුනට ගෞරවයක් වශයෙන් කිව යුතුය. වරෙක බැන්-කී-මූණා ගෙනාවේය. තවත් වරෙක පාන්පිටිය. ඉස්ලාම් අන්තවාදය, ආසනික්, ග්‍රීස් යක්කු, ඇමෙරිකාව, ජන අරගල...... (දැං මතකත් නෑ අප්පා ඕවා....කීයක් නං ගෙනාවද? අනික අර කීර්තියා නං මේ ලියන වෙලාවෙත් එකෙක් හදනව ඇති)

මේ සිල්ලර සතුරන් හැරෙන තැපෑලෙන් පරාජය වීම කිව යුත්තක් නොවේ. අපට අවශ්‍ය ප්‍රභාකරන් වැනි දරුණු සතුරෙකි. නෑ.... දැන්නං ඌත් මදි. ප්‍රභාකරන්ටත් වඩා සුපිරි එකෙක්....!

අසුබ පණිවිඩය මුලින් කියමි. එවන් සුපිරි සතුරෙකු නැවත කිසිදා අපට හමු නොවනු ඇත. අපේ කඩාවැටීම ස්ථිරය.

---------------------------------

සුබ පණිවිඩයක්ද තිබේ. සුපිරි සතුරෙකු වටා සංවිධානය වනවා වෙනුවට සුපිරි වීරයෙකු වටා සංවිධානය විය නොහැකිද?

ඒ සඳහා සුදුසුම වීරයා ‘රාවණා’ බව මගේ අදහසයි.

රාවණා නිකම්ම වීරයෙකු නොවේ. සදාකාලික සුපිරි වීරයෙකි. අසල්වැසි ඉන්දියාවටත් පාට් දැමූවෙකු බව ඉන්දියානුවෝම පිලිගනිති. සුද්දෝ හෙලුවැල්ලෙන් ගල්ගුහාවල ගැහි ගැහි ඉද්දී අහසින් ගිය අයෙකි. මේ සියවසේදීත් සිතාගත නොහැකි තරම් තාක්ෂණික දැනුමක් සහ අසහාය බලයක් දැරූවෙකි.

අනෙක ඔහු සදාකාලිකය. දැනට තිබෙන ජනප්‍රවාදවල එනවාට වඩා අතිරේක කිසිදු කරුණක් (මනමේන්ද්‍රගේ බේගල් හැර) ඔහු ගැන කිසිදා හෙළිවන්නේ නැත. එබැවින් එම වීරත්වය කිසිදා පළුදු නොවේ.   තවත් මොනවද?

සතුරෙකු වටා සංවිධානය වන්නේ වෛරයෙනි. වීරයෙකු වටා සංවිධානය වන්නේ භක්තියෙනි. රෞද්‍ර වෛරයට වඩා සෞම්‍ය භක්තිය කොහොමත් වටී.

මා ‘මී ජයාට’ අකමැති මේ සුපිරි වීරයා කුඩුකොට දමන හෙයිනි. මේ නැතිවෙන්නේ අපට ගැලවෙන්නට තිබූ මගකි.

මෙහෙම කිව්වාට මා ‘මී ජයාට’ කැමතිද ඒ හේතුව නිසාමය. මිත්‍යාමතික සතුරන් හෝ මිත්‍යාමතික වීරයන් නොමැති වූ විට අපේ විමුක්තිය අපටම සොයාගන්නට සිදුවනු ඇත. ඒ සඳහා ගෙවන්නට වන වන්දිය දැවැන්ත එකක් වන්නටද පුළුවන. එහෙත් මේ මගුල කුඩුපට්ටම් වී සෑදෙන ඕන මගුලක් මේකට වඩා නම් හොඳ වනු ඇතැයි සිතේ.