Friday, July 27, 2012

පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය... (ස්වයං රැකියා අත්වැල - 01 කොටස)


මා විසින් හඳුන්වා දෙන නවතම විශේෂාංගය ‘ස්වයං රැකියා අත්වැලයි’. මෙය ඔබට නිවසේ සිටම සැලකියයුතු ආදායමක් ලබාගැනීමට අවස්ථාව සලසනු වස් නොමිලයේ සපයන සේවාවකි. මුදල් එපා. තුටු පඬුරු එපා. ‘කියවීමෙන් පසු’ කැමතිනම් හිට් එකක් පමණක් ලබාදෙන්න. (අකමැති නම් ඒකත් එපා)

අද හඳුන්වා දෙන්නේ ලංකාව තුල කවදත් ජනප්‍රිය ‘ගුප්ත විද්‍යා’ ක්ෂේත්‍රයට සම්බන්ධ ‘පුනර්භව පර්යේෂකයෙක්’ වන ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය

·        විකාර කියවන පොඩිඑවුන්  1 යි.
·        උගෙ අම්මා නමැති එලදෙන සහ තාත්තා නමැති එලගොනා  (1 බැගින් සෑහේ)
·        හූමිටි තැබීමට ලංකාවේ සමකාලීන බුද්ධාගම ගැන ප්‍රමාණික දැනුමක් සහිත වයසක උපාසක මහතුන් හතර පස් දෙනෙක්.
·        බාහිර අලංකරණය සහ ප්‍රචාරක කටයුතු සඳහා හතර පෝයට සිල් ගන්න උපාසිකා මාතාවන් හත් අට දෙනෙක්
(මෙම උපාසක උපාසිකාවන් සොයාගැනීමට වෙහෙසිය යුතු නැත. ඉහත සංඛ්‍යාවන් ලෙස දක්වා ඇත්තේ ආරංචිය ලැබී පැමිණෙන තුන්හාරසීයෙන් ඔබ තෝරාගත යුතු සංඛ්‍යාවයි.)
·        තරමක් වයෝවෘද්ධ හාමුදුරුනමක් හෝ දෙනමක් (මාධ්‍ය ප්‍රකාශක කටයුතු සඳහා)
·        ලංකාදීප/දිවයින හෝ රන්දිව යන පුවත්පත් වලින් එකකට ලියන (හෝ මලවන) මාධ්‍යවේදියෙක්. (කලබල වෙන්න එපා. මේක හිමීට කරගත හැකිය)
·        රුපියල් දහපාලොස්දහක මුදලක් සහ ඩොල්පින් වෑන් එකක්. (මරුටියක් වුව මේ සඳහා සුදුසුය - සුදු පැහැති වාහන භාවිතා කිරීමෙන් වලකින්න)
    
පර්යේෂණය කරන ක්‍රමය

ඔබ මුලින්ම කලයුත්තේ විකාර කියවන පොඩි දරුවා නිවැරදිව තෝරාගැනීමයි. මෙ සඳහා සමාජයේ සාමාන්‍ය ආරංචිමාර්ග භාවිතා කල හැකිය. මෙම දරුවාගේ වයස අවුරුදු නමයක් හෝ දහයක් වීම ඉතා සුදුසුය. එකේ පන්තියේ සිටම දහම්පාසල් යැවූ දරුවෙකු ‍තෝරා ගැනීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලැබේ.

ඔබ මුලින්ම සොයා ගත යුත්තේ මේ දරුවා කුඩා කලදී කියා ඇති මඥ්ඤං කතාවකි.

සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකු වයස අවුරුදු පහ හය ඉක්මවීමට පෙර මෙවන් කතා දෙක තුනක්වත් කියන අතර එයින් වඩාත් ගැලපෙන කතාව තෝරා ගැනීම ඔබේ දක්ෂතාවයයි. උදාහරණයක් ලෙස.....

“තාත්තියි මායි කාර්එකේ යද්දි ජෝ එකකට වැටුනා”
“ඉස්සර මං උඩී.....න් ඉගිල්ලුනා”
“අපේ ගේ තිබුනෙ කන්දක් උඩ...”
“මං පන්සලක නයෙක් වෙලා හිටියා...”

දැන් මෙයින් ඔබ තෝරා ගත යුත්තේ සිව්වැන්නයි. මන්ද යත් ජෝ වලට කාර් වැටුනු සිද්දි ඉතා අල්පය. උඩින් ඉගිල්ලුන උං ගැන සෙවීමට නම් ඉගිල්ලෙන්නම සිද්දවේ. කඳු උඩ ගෙවල් කාටවත් ඉන්ටරස්ටින් නැත. අන්න ඒකට හතරවෙනි එක. බලන්න.... “පන්සලක...” “සුදු නයෙක්...” කෙතරම් සිත් අලවන සුළුද?

දැන් ඔබ මුලින්ම සමීප විය යුත්තේ අර එළදෙනටය. එළ ගොනා වරින්වර ඔබට රැවීමට ඉඩ ඇති බැවින් මදක් ප්‍රවේශම් වීමට වගබලාගන්න.

ඔබ මුලින්ම කල යුත්තේ දරුවා ගැන මෛත්‍රී බෝධිසත්ව වර්ණනාව පරදන වර්ණනාවක් දීමයි. ඒ සඳහා මූණේ පිං පාට, කොණ්ඩයේ සුළිය, ඇස්වල හැඩය, බෙල්ලේ රැලි, දත්වල හැඩය වැනි විශේෂතා භාවිතා කල හැකිය. ඉන් අනතුරුව විමසිය යුත්තේ අවුරුද්ද හමාරේදී දරුවා නැගූ ශබ්ද සහ කල ක්‍රියාකාරකම් ගැනයි. සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකු මේ වයසේදී “ෂූ...ෂූ...” “බෲස්...බෘස්...” “ජියා...ජියා...” වැනි ශබ්ද නගන අතර ඉන් ගැලපෙන ශබ්දය තෝරා එහි ආත්මීය සම්බන්ධය අර එලදෙනට කියා දිය යුතුය. මෙම කියාදීම අර උපාසක උපාසිකාවන්ද සිටින තැනදීම කල යුතු බව සලකන්න. නැතිනම් අර එලගොනා වැඩේට නම්මා ගැනීම මේ කපේදී කල නොහැකි වනු ඇත.

දැන් පලමු පියවර අවසන්ය. ඔබට සති තුනක නිවාඩුවක් ගත හැකිය. ඒ නිවාඩුව අතරතුර අර එලදෙන සහ උපාසක පිංවතුන් දරුපැටියා වටකරගෙන ඔබද ලක්ෂපති මමද ලක්ෂපති තරඟය කරනු ඇත.

“ඔයා ගිය ආත්මෙ පන්සලක සුදු නයෙක් වෙලා හිටියද පුතේ.....?”
“ඔව්”
“පන්සලක මොන පාට නයෙක් වෙලාද හිටියෙ...?”
“සුදුපාට...!”
“හා.. කොහෙද හිටියෙ..?”
“පන්සලක...!”
“මොකෙක් වෙලාද හිටියෙ..?”
“නයෙක් වෙලා...!”
“කවද්ද හිටියෙ.....?”
“ගිය ආත්මෙ....!”
.............................
“අනේ.. බලන්ඩ මේ දරුපැටිය පෙර ආත්මෙ කියන අපූරුව.....? සංසාරේ... සංසාරේ.....!!”

සති තුනකින් ඔබ නැවත එන විට වැඩේ පත්තුවී ඇති බව දැකගත හැකිවනු ඇත. ඉන් අනතුරුව ඇත්තේ ඔබේ කඩඉම් ප්‍රශ්න වටයයි.

“කොහෙ පන්සලේද පුතේ.....?”
සාමාන්‍යයෙන් දරුවා මෙයට කිසිවක් නොකියයි.
“පුතා කියන්ඩකො.. කොහෙද ගම?.... ගම....?? අනුරාදපුරේද... පොලොන්නරුවෙද.... සෝමාවතියෙද... රැස්වෙහෙරෙද....???”
“අනුරාදපුරේ.....”
“අනුරාදපුරේ කියන්නෙ ලොකූ පලාතක්නෙ පුතේ.... අනුරාදපුරේ කොහෙද?”
“......................”
“පුතාට මතක නැද්ද.... කල්පනා කරන්ඩකො..... මුල් අකුරුවත් මතක නැද්ද? කොහොමද පටන්ගන්නෙ.... ‘මැදි’ කියලද? ‘උස්’ කියලද..? මොකද්ද?”

මෙහිදී අර එලදෙන ඉදිරිපත්වනු ඇත.

“මෙයා චූටි කාලෙ නිතරම ‘ගැට’.... ‘ගැට’ කියලනං කියනවා......”
“ගැට......? ගැටහැත්ත? ගැටඋලාව?... ගැටගත්තාව...??.... ම්.... ගැටමාන්නද?”
“ඔව්....!!”

ඔබ දිනුම් කියා හිතාගන්න. දැන් ඉතින් අර පොඩිඑකා විසින් සත්තුවත්තේදී දැක ඇති කළු නයා සහ, දහම් පාසල් පොතේ ඉන්න කරුණාබර සුදු නයා එකට පටලා මාර නයෙක් නිර්මාණය කරනු ඇත. ඔබට ඇත්තේ එම නයාට තියරි සපයා අර ගොනාගේ පණ්ඩිත මිතුරන්ට පිළිතුරු දීමයි.

“මේ පුතා කියන්නෙ එයා ඒකාලෙ පලතුරු විතරයි කෑවෙ කියලා....?” (පොඩි එවුන්ට කොහොමත් කුරුමිණියන්/ගෙම්බන් අපුලය)

“වෙන්න පුළුවන් නේද?... ඕකට සංසාරෙ පුරුද්දනෙ බලපාන්නෙ... කොහොමත් ඊළඟ ආත්මෙ මනුස්සයෙක් වෙන්න තරම් මෙයා පින් පුරලනෙ ඉන්නෙ....”

“නයින්ට කන් ඇහෙන්නෙ නෑ නේද...? අනික භාෂාවක්...” (පොඩි එකා ඕව දන්නවයැ)

“අපි නොදන්න දේවල් එකපාරටම බැහැර කරන්න බෑනෙ මිස්ටර්... මේ ලෝකෙ අපිට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද?”

---------------------------------

ඒ අවසන් වූයේ දෙවන පියවරයි. 
දැන් අර ඩොල්පින් රථය අවශ්‍යවන වේලාවයි. ඔබ කලයුත්තේ දිනයක් යොදාගෙන අර ගොන්බානද, දරුපැටියාද, උපාසක නඩයේ හය දෙනෙක්ද, මාධ්‍ය ප්‍රකාශක හාමුදුරුනමක්ද කැටුව හරියටම පාන්දර පහට පිටත්වී ගැටමාන්න නගරයට ආසන්නයේ ඇති පන්සලකට යාමයි. හාමුදුරුවන් වහන්සේ මිදුල අමදින වේලාවට එතැනට යාම ප්‍රමාණවත්ය.

ඉන් අනතුරුව ඔබ කලයුත්තේ අර මාධ්‍ය ප්‍රකාශක හාමුදුරුවන් ලව්වා උන්වහන්සේගෙන් ‘සුදු නයෙක් මැරිච්ච පන්සලක්’ ගැන විමසීමයි. (මෙහිදී කතාබහ මැදින් “පුනර්භව පර්යේෂණ” යන වචනය යෙදීමට ඔබ වගබලාගන්න.) පැය බාගයක් තුල එම පන්සලේ දායක සභාවෙන් සීයට තිස්පහක් පන්සලට රැස්වෙනු ඇත. ඉන් අනතුරුව ඔබ ආපසු හැරී ආවත් කමක් නැත. වෑන් එකේ ගිය කට්ටිය ඉතිරි හරිය තනිවම කරගනු ඇත.

එදින සවසම ඔබ කල යුත්තේ අර මාධ්‍යවේදියා සොයා ගැනීමයි. මෙය ඉතා සරළය. පෙර සඳහන්කල තුනෙන් කැමති පත්තර කන්තෝරුවක මොබයිල් නොම්මරයක් හොයාගෙන පහත එස්.එම්.එස්. එක යවන්න.

giya aathme sudu nayek wela hitapu lamayek innawa. Wisthara one nam amathanna

ඔබට සාමාන්‍යයෙන් ප්‍රති ඇමතුමක් නොලැබෙන අතර පසුදා පාන්දර හතරටවත් අවදිවී මූණ කට සෝදා පිලිවෙලකට ඇඳ පැළඳගෙන සිටිය යුතු වනු ඇත. හරියටම හයයි තිහ වන විට වාහන දෙකකින් පැමිණෙන දොලොස් දෙනෙකු කිසිදු කතාවක් නැතිව ඔබ ඔසවාගෙන දුවගොස් වාහනයකට දමාගන්නා අතර වහාම ප්‍රධාන පාරට හැරෙන තැනට ගොස් නවත්වා මෙසේ අසනු ඇත.

“රයිට්.... කොයි පැත්තටද යන්ඩ ඕනෙ....?”

------------------------------

අත්දුටුවයි..! ප්‍රත්‍යක්ෂයි...!!

තවත් දින කිහිපයක් තුල ඔබ නමගිය “පුනර්භව පර්යේෂකයෙක්” වනු ඇත. ඉන් අනතුරුව ඒ මුලට “ආධ්‍යාත්මවේදී” “වෛකල්පිත සංසාර ගවේශක” වැනි තනතුරු ඕනෑම ප්‍රමාණයක් එක්කර ගැනීමට ඔබට හැකි අතර, ඉන් පසු ඔබේ දක්ෂතාවය මත අවශ්‍ය තරම් ඉහලට යාමට ඔබට හැකිවනු ඇත. එහෙම උනු දාක මේ චාමිව අමතක වෙන එකක් නැති බවද සිතමි.

ඔබගේ වැඩිදුර අධ්‍යයනය සඳහා මේ ආකාරයේ ප්‍රකට පුනර්භව පර්යේෂණ පත්‍රිකාවක ලින්කුවක් පහලින් යොදා ඇත. එහි බොහොමයක් කමෙන්ට් ශාස්ත්‍රීය භාවයෙන් පහත් බැවින් ඒවා කියවීමෙන් වලකින ලෙසද ඉල්ලමි.

අම්පිටියේ සුදු නාගයකු වී සිට මාතර ඉපදුනු දරුවාගේපුනරුත්පත්තිය

Thursday, July 26, 2012

කඩු හොරා පිළිබඳ මා දන්නා තොරතුරු අනාවරණය කිරීමයි.


මෙය සෑහෙන්න සිතා බලා ලියන ලිපියකි. මේ තොරතුරු මෙලෙස හෙලිදරව් කිරීමට මගේ කිසිදු කැමැත්තක් නොතිබුණත්, නීතිගරුක පුරවැසියෙකු වශයෙන් මගෙ මතු ආරක්ෂාව පිණිස මෙය කල යුතුව ඇත. මන්ද යත් යම් අපරාධයක් පිළිබඳ අප දන්නා තොරතුරක් වසන් කරගෙන සිටීමද නීතියට අනුව බරපතළ වරදක් වන බැවිනි.

කෞතුකාගාරයේ පුරාවස්තු සොරකම සිදුව සෑහෙන කලක් ගතවුවත්, එම තක්කඩි හොරා ගැන මා දැනගත්තේ ඊයේ පෙරේදා දිනෙක බව මුලින්ම දිවුරා ප්‍රකාශ කරමි. කලින් දැනගත්තානම් එදාම කියනවාය. ඇත්තටම මූ අඳුනාගත්තේ පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කල අර පොටෝ එකෙනි.

සහතිකවම ඔය පොටෝ එකේ ඉන්නේ අපේ ගමේ ඉන්න අංක එකේ මදාවියෙකු වන ජේ.එම්. අසංක කුමාර කියන එකාය. සැක නං ගමේ ඇස් පේන ඕනෙ එකෙකුගෙන් අසා දැනගත හැකිය.

ඕකා ඉස්කෝලෙ ගියේ මාත් එක්කය. මූ හතේ පන්තියෙන් කට්ටි පැන්නේය. ඊට පස්සේ රස්තියාදුවට වැටුන මූ ටිකක් අළු ගසා දාලා ආවේ ගාමිනී මුදලාලිගේ ලොරියේ ගෝලයා උනාට පස්සේය. මූව එතනින් ගහලා පැන්නුවේද මොකද්ද සල්ලි කේස් එකකට කියති.

මේකා ඉන්පසු රස්සාවක් කලේ නැත. ආදායම් මාර්ගය හොරකමයි. ගංජා පප්පෙකි. ඇවිදින ස්කාගාරයකි. වරක් මෝටර් හොරකමකට මාට්ටු වී මෝටර් වමාරන්ඩම මූට පොලිසියෙන් නෙලා තිබුණි. ගමේ හරක් හොරකම් හැම එකකටම මුගෙ නම ගෑවී ඇත. ගමේ ගෙවල් කඩපු හැම වතාවකම මූව පොලිසියෙන් සෙවූ මුත් මෙතෙක් අල්ලාගැනීමට නොහැකි විය.

කටුගෙයි හොරකමට මුගේ ඇති සම්බන්ධය මට නම් ඉතා පැහැදිළිය. මූ දැනට අවුරුද්දක විතර ඉඳන් ගමේ නැත. මිනිහා මනම්පිටිය පැත්තේ මොනවද කරන බව සමහරු කියති. පට්ටපල් බොරු. හොරු කවද්ද යන තැන කියල යන්නෙ?

අසංකයාව හොඳින් දන්නා කෙනෙකු වශයෙන් ඔය හොරකම ඕකාම කරන්නට ඇති බවට මටනම් කිසිම සැකයක් නැත. මූට හොරකමටම ඔබින සහජ බුද්ධියක් සහ සූක්ෂමව වැඩ කිරීමේ මනා හැකියාවක්ද,  නරියෙකුට මෙන් කපටි මොලයක්ද ඇත. එමෙන්ම ඕනෑම මෝරෙකු, වචන හත අටකින් එකතැන නැමීමේ සහජ කුසලතාවද මූට ඇත.

වැඩේ සිද්ද උන ආකාරය අසංකයා අල්ලාගැනීමෙන් පසු සහසුද්දෙන්ම දැනගත හැකි වුවත්, ඌ ගැන දන්නා මට නම් ඕකා ඔය තක්කඩි වැඩේ කරපු හැටි දැන්ම තියා කිව හැකිය. පරීක්ෂණ වලට පහසුවක් පිණිස මගේ උපකල්පනද මේ සමග සඳහන් කරමි.

මූට ඔය කඩු ටිකම උස්සන්ඩ හිතුනු එක ගැනනම් මට මොකුත් සිතාගත නොහැක. (ඒවා අල්ලගත්තයින් පස්සෙ අහගන්ඩ)

මුලින්ම මූ කරන්ඩ ඇත්තේ කටුගෙයි සැලසුම, යන එන පාරවල්, හා ඒවායේ දුර විශ්ලේෂණය කිරීමයි. පලපුරුදු හොරෙකු වන අසංකයාට ඕක ටොයිස් වැඩකි. ඊළඟට මූ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර ඇත. ඇතැම්විට ඒවා වැඩකරන හැටි ගැන මූ දවසක දෙකක කෝස් එකක් කරන්නටද ඇත. මන්ද යත් ඕවා ඔන් ඕෆ් කරන්නට මෙච්චර යුනිකෝඩ් කොටන මමත් දන්නේ නැත. ඕනෙ එකක් පැයෙන් හමාරෙන් අල්ලගන්ඩ අසංකයා දක්ෂයා.

ඊළඟට මූ දැල එලා ඇත්තේ ගාඩ්රූම් එකේ ලොක්කාටය. ලොක්කා නමාගත් පසු සොක්කන්ව මොනවද? ඇතැම්විට ගානක් විසිකරන්නටද ඇත. හොරුන්ට සල්ලි නැතුවයැ?

මේක අධිආරක්ෂිත කලාපයක් බව සමහරු කියා තිබේ. සල්ලි ඇත්නං ඕවා ප්‍රස්නද? කරන්ඩ තියෙන්නේ හමුදාවේ ලොක්කෙක් අල්ලාගෙන ඔය පනින්ඩ හදන දවසේ, වටේ පිටේ ඩියුටි වැටෙන අයගේ ලැයිස්තුවක් ඉල්ලා ගැනීමයි. ඊට පස්සේ ඒ එක එක්කෙනා වෙන වෙනම හම්බවෙලා බටර් පාරක් ගාල ගානක් අතමිට මෙලෙව්වහම ඒ වැඩේ ෂේප්. කුරුඳුවත්ත පොලිසියෙත් හැමෝටම වගේ දුන්නා නොවිය නොහැක. අසංකයා ඔය වැඩේට කප්පිත්තෙක්.

දැනට ඇති තොරතුරු වලට අනුව හොරකම දා දවල් මූ කටුගෙට ගිහින් ඇත. ගිහින් මොකක් හෝ ජිල්මාට් එකක් දමා කැමරා ටික ඕෆ් කර ඇත. එදා රෑ මූ කටුගේ ළඟට යන්ඩ ඇත්තේ ත්‍රීවීල් එකකින් බව මගේ අදහසයි. සාමාන්‍යයෙන් ඔය වගේ බෙල්ල ගහල යන ගේම් වලට වීල් කාරයො එන්නෙ නැති නිසා මූ මේ වැඩේටම සල්ලි දීල ත්‍රීවීල් එකක් ගත්තා යැයි මා සැක කරමි.

මුලින්ම මූ කර ඇත්තේ ගෝනි පඩංගුවක් සහ ලනුවක් රැගෙන කටුගේ භූමියට ඇතුළු වීමයි. ලොක්කා ෂේප් නිසා ගේට්ටුවෙන්ම ආවා වෙන්නටද පුළුවන. ඊට පස්සෙ කටුගෙයි වහලට බඩගෑ මූ, දන්නා ශිල්ප දමා ඇතුලට ලණුව දමා කටුගේ තුලට බහින්නට ඇත. ඔය කියන කඩු බඩු ටිකයි, අර සිල්ලර කාසි ටිකයි ගෝනි පඩංගුවේ ඔතාගත්තු මේකා ආපු පාරෙන්ම ආපහු විත් වීල් එකේ නැග අතුරුදන් වන්නට ඇත.

මේ ටික නං සාමාන්‍ය හොරකමකි. මූව කොටිය කන්ඩ වටින්නේ වැඩේ යට ගහන්ඩ ඊට පස්සෙ කොරපු හරිය දකිද්දීය.

වැඩේ අහවර කොට කඩු ටික හංගා මූ බලං ඉඳ ඇත්තේ හොරකම ගැන මොකක්හරි කොනක් එලියට එයිද කියලා වෙන්නට පුලුවන. අර කලා භවනෙ වැඩකරපු ස්ටැන්ලි කියල හාදයෙක් පොලිසියෙ දෙන්නෙක් ගැන කට උත්තරයක් දුන්නේ ඒ අතරය. වැඩේ පත්තු වෙන්ඩ යන බව අසංකයාට තේරෙන්ඩ ඇත. (හේතුව උඩ ඇත). ඌ වහාම රහස් පොලිසියේ දහ පාලොස් දෙනෙක් අල්ලගෙන වැඩේ කනපිට ගහන්නට සමත් වී ඇත. (වියදම් තමා ඉතිං)

ඒ අනුව දෙන්නෙක් ලව්වා ස්ටැන්ලියාව බැස්ටියන් මාවත ස්ටෑන්ඩ් එකේදී උස්සවන ලද අතර ත්‍රීවීල් එකකින් (මෙය අසංකයා මිලදී ගත් වීල් එකම විය යුතුය) , සුගතදාස ස්ටේඩියම් එක වටේ කරකවා කොටුව ප්‍රදේශයෙන් අසංකයා මාස හයකට කුලියට ගත් නිවසකට නැවත ගෙන ගොස් ඇත. (කඩු හොරා කොටුව ප්‍රදේශයේ ඉන්නා බවට පොලිසිය විසින්ද මෙය සනාථ කරන ලදී.) මේ නිවසේ ස්ටැන්ලිව සුමාන තුනක් විතර තියාගෙන කට්ටිය ලව්වා පාට් දම්මවා අසංකයා ට්‍රයි කරන්ඩ ඇත්තේ ස්ටැන්ලිව බිල්ලට දී මිනිහා බේරෙන්ඩය. (මේ සුමාන තුනේ කට්ටියට -සහ ස්ටැන්ලියාටද- කෑම බීම සේරම අසංකයා අතිනි) බැරිම තැන වෑන් එකක් රෙන්ට් එකට ගෙන දෙතුන් දෙනෙක් එක්ක ගඩලාදෙණිය හන්දියට ගෙනිහින් ස්ටැන්ලියාව කාණුවට තල්ලුකර ඇවිත් ඇත. (ඕවට වියදම් යනවා කිය කියා හැමතිස්සෙම කියන්ඩ ඕනෙද?)

මේ මොන සෙල්ලම් දැම්මත් අයුක්තිය අසාධාරණය සැමදා රජ කරන්නේ නැත. අන්තිමේදී දිට්ඨ ධම්ම වේදය පලදෙමින් අසංකයාගේ පින්තූරය හැම පත්තරේම වැටුනි. ඌට ගැලවීමක් නැත. දැන් ඉතින් එලියට බහින්ඩවත් බැරුව ඔය කොටුව කුලී ගෙදරට වෙලා කඩු දිහා බලාගෙන බඩගින්නේ හූල්ලමින් ඌ ඉන්නවා ඇතිය. (කඩු ටිකට නම් තවමත් අතුරු ආන්තරාවක් වෙලා නැති බව පොලිසියට මෙන්ම මටද ෂුවර්ය) තව ටික දවසකින් සුදු රෙද්දකින් මූණ වහගෙන උසාවි එන අසංකයා ටීවී එකේ දැකගන්නට අපේ ගමේ උන් දතකට මැදගෙන බලා සිටිති. ගම කෑවා තක්කඩියා.

මේවා බ්ලොග් එකේ නොලියා කෙලින්ම අදාල තැනට දුන්නානම් අර තෑග්ග ගන්ඩ පුලුවන් නේදැයි ඔබ අසන්නට පුලුවන. එහෙත් මමද ප්‍රතිපත්තිගරුක මිනිසෙකි. මොන හොරා උනත් මගෙ (ඉස්කෝලෙ) පන්තියෙ එකෙක් පාවාදීල ගන්න සල්ලි මගෙ බල්ලටවත් ඕන්නෑ....!

Wednesday, July 18, 2012

සිස්ටම් එකේ හිඟන කතා....


විමලසේන මං දන්න හාදයෙක්. දුප්පතා. වැඩ කලේ කොහුමෝල් වල. හවසට බොනවා. උන්නෙ පොඩියට හදාගත්තු තාවකාලික ගේක. මිනිහගෙ මායියත් මිනිහටම ගැලපෙනවා. ළමයි තුන්දෙනෙක් ඉන්නවා. පොඩිම කෙලී ආබාධිතයි. (ආබාධීතයෙක් කියල කටවහරට කිව්වට සුදුසු හැඳින්වීම 'විශේෂ අවශ්‍යතා ඇති අයෙක්')

මේ දරුවා ගොළුයි. බිහිරියි. වතාවක් මිඩ්වයිෆ් නෝනගෙ කරදරේට දරුවව හලාවත ඉස්පිරිතාලෙට ගෙනිච්ච වෙලේ දොස්තරල කියල තිබුණෙ බිහිරි බව සුවකරන්න පුලුවන් කියලා. එතකොට ගොලු බවත් අඩුවෙයි කියලත්. ඔන්න ඊට සති දෙකකට විතර පස්සෙ විමලෙ මාව හොයාගෙන ආවා.

"දුවගෙ කණට මොකද්ද හයිකොරන්ඩ ඕනෙලු.... ලක්ස දෙකයිද ගානක් යනවලු.... අපි කොහොමද ඔහොම වියදං කොරන්නෙ....."


මිනිහ කිව්වෙ බොහොම විස්සෝපෙන්. ටික වෙලාවකින් මිනිහම අයිඩියා එකක් දැම්මා.

"මම මෙච්චරකල් මගෙ හයියෙං හම්බකරන් කාපු මිනිහා..... මෙතුවක් කාටවත් අතපාල නෑ... ඒත් මලේ මට මේ කෙල්ල ලොකුයි සේරටම වඩා....... අපිට බැරිවෙයිද මලේ ඔය ගමේ අහල පහල අයගෙන්......?

ඔන්න මගෙත් අනුදැනුම ඇතුව විමලදාස වෛද්‍ය සහතික කාරිය ගෙනත් ගමේ ග්‍රාම සේවක රාලහාමිට කියල ලියුමක් කාරිය හදන් වැඩේට සූදානම් වුනා.

පළමු දවස් දෙකතුනේ ආධාර චාරිකාවකින් පස්සෙ මිනිහ මාව හම්බවෙන්ඩ ආවා.

"දැනට රුපියල් පන්දාස් තුන්සිය ගානක් එකතුවුනා..... මිනිස්සුන්ටත් සල්ලි නෑ මලේ..... මං මේ කල්පනා කොලේ ඔයගාන හොයාගන්ඩ මාස දෙකක්වත් මෙහෙම ඇවිදින්ඩ වෙයිනෙ......
මට හිතයි හලාවත ටවුන්කරේ ටිකක් ඇවිදල බලන්ට.... ඔය දැල් පන්න කරන මිනිස්සුන්ගෙ අතේ තියෙනවනං ලෝස් නෑනෙ මලේ....... මොනව කරල හරි මේ කෙල්ල........."

එදායින් පස්සෙ මාසයක් විතර යනකං මං විමලදාසව දැක්කෙ නෑ. දවසක් විමලෙගෙ ගේ ළඟ හාදයෙක් නවත්තගෙන මං විස්තර ඇහුවා.

"විමලයට දැං හොඳ ජයයි... හෙහ්..... මිනිහ හැන්දෑවට එන්නෙ ගෙදර පවුලටම ෆ්‍රයිඩ් රයිස් අරං.... හතරැස් බාගෙකුයි.... ඔය ඇපල් අනං මනං..... දවසක් ඌ මටත් අඬගැහුවා ෂොට් එකක් දාන්ඩ.... මගෙ බල්ලවත්.... එක එකාට බොරුකියල අතපාල......."
"විමලයට කියන්ඩකො මං හම්බවෙන්ඩ ඕනෙ කිව්වයි කියලා....."

ඇත්තටම උං හොයාගන්න එකෙන් කන බොන එක ගැන මගේ බිංදුවක වත් නොමනාපයක් තිබ්බෙ නෑ. මොකද ඔය දරුපැටවුන්ට මීට කලින් දවසගානෙ තියා, ජීවිතයේ එකම දවසක්වත් ෆ්‍රයිඩ් රයිස් වගේ දෙයක්වත් කන්න ලැබිල තියෙනවද කියලත් මට සැකයි. අනික කොහොමත් දිනපකා හැලි අරක්කු බොන විමලෙට ගල් බාගයක් ගහන එකත් දිවිය ලෝකෙ සැපක් වෙන්නැතිනෙ. අනික මේ ලෝකෙට උපන්න නං, පලතුරක් රහ බලන්න, සෙල්ලම් බඩුවකින් විනෝදවෙන්න මොන ක්‍රමයකින් හරි ඒ දරුවන්ටත් ලැබෙන්න ඕනෙ. මට ප්‍රස්නෙ තිබ්බෙ මේවා නිසා අර දරුවගෙ ප්‍රතිකර්මය නොකෙරෙයිද කියල.

තවත් සති තුනක් විතර බලල විමලෙ නාව නිසා මං ඒ පැත්තෙ ගියා. විමලෙගෙ මායිය ගෙදර උන්නා. වෙනදා වැරහැලි එල්ලගෙන පෙරේත සෙයියාවෙන් හිටපු ගෑනිත් දැන් ටිකක් පිලිවෙලක් වේගෙන එනවා වගේ. ගෙදරත් ප්ලාස්ටික් පුටු ටිකක්... අනං මනං....

"විමලෙ ආධාර එකතුකරන්ඩ ගියානෙ.... කෙල්ලවත් බයිසිකලේ තියාගෙනමයි යන්නෙ.... එතකොට මිනිස්සුන්ටත් විස්වාසයක් ඇතිවෙනවනෙ..... ඔය හලාවත, සුදුවැල්ල, ඉරණවිල..... අර පැත්තෙන් සමහරදාට වෙන්නප්පුව දිහාටම බයිසිකලේ පදිනවලු...
රෑ වෙලා තමයි එන්නේ........ ..... ගාන නං දන්නෙ නෑ... තව සල්ලි ටිකක් මදි කියල තමයි කිව්වෙ....."

එදත් විමලෙව එවන්න කියල ආවත් තවත් මාසයක් යනකං ඌ නෙමෙයි ආවෙ.

දවසක් ගේ ඉස්සරහදිම විමලෙව අල්ලගත්තා. මූ මාව දැකලත් නොදැක්ක වගේ ඇරල යන්ඩ හදනකොට කෑ ගහල තමයි නවත්තගත්තෙ. වැඩේට තවත් ලක්ස එකහමාරක් විතර මදිලු...!

---------------------------------

වැඩේ නොකෙරෙන තැන ආපහු වෛද්‍ය සහතිකයක් අරං සමාජසේවා දෙපාර්තමේන්තුවට දැම්මා. ඔය කණට දානවයි කිව්ව මොකද්ද ගැජට් එක ඒකෙන් නොමිලෙම හම්බවුනා. දැන් කෙල්ලගෙ කන් ඇහෙනවා. ආරංචි විදිහට විමලෙ තාමත් සතියට දවස් තුන හතරක් අර ලියුම් ටිකත් අරගෙන ආධාර එකතුකරන්ඩ යනවලු.
මයෙ මොකෝ.....!

(කෝකටත් මං පණීවිඩයක් යැව්ව ආයෙ කෙල්ල එක්කං ගියොත් බලාගන්නං කියල.)



මං දන්න වයසක හිඟන ජෝඩුවක් ඉන්නවා. ටිකක් දුර බැහැරක වෙන්න ඕනෙ. මාසෙකට සැරයක් විතර මම ඉන්න පලාතෙ කඩවල් වල රවුමක් යනවා.

එදා මම උන්නෙ ස්ටැන්ලිගෙ ටේලර් ෂොප් එකේ. ඔන්න අර ජෝඩුවගෙන් මිනිහා විතරක් කොර ගගහා ආවා. මාසෙකට පාරක් ආශ්‍රය කරලම ස්ටැන්ලිත් දැන් මිනිහගෙ හොඳ යාලුවෙක්.

"ආ.... මාමා.... මොකද තනියම? කෝ නැන්දා....?"
"උන්දැට සනීප නැතිවුනානෙ ලමයා.... දැං මං ඉතරයි 'රස්සාවෙ' යන්නෙ.... හෙහ් හෙහ්......"
"ඒකයි මේ.... ඒත් මං බැලුව මොකද පරක්කු කියල.... වෙනදා මාසෙ මුලනෙ එන්නෙ....."
"ඒකනං අර එකෙක් බලුවැඩක් කොරලා.... සතියක් ඉතර පොලිසි ගියා......."
"ඒ මොකද්ද....?"
"ඔය ගෙවල් ලඟ එකෙක්.... මූ අපේ ගෙදර ඇවිත්.. ගේ අස් පස් කොරල දෙන්නං කියල... බැංකුවට දාන්ඩ තිබ්බ රුපියල් පනස් දාහක් හොරකං කොරං ගිහිං.... අලුගුත්තේරුවා......."

ස්ටැන්ලිගෙ ඇස් උඩ යනවා මං බලාගෙන.

"ඉත්...තිං....?"
"මූ ගත්තෙ නෑම කියනවනෙ....."

ස්ටැන්ලි කතාව වෙනස් කලා.

"දැං මාමගෙ පොතේ කීයක් විතර තියෙනවද?"
"මගෙ නං ඒ හැටි නෑ.... අපෙ මායියගෙ පොතේ නං.... ඒත් දැන්නං ලක්ස තුන හතරකට වඩා නෑ... ලක්ස නමයයි ගානක් තිබ්බා.... ඔය උන්දා අසනීප වුනා.....මාත් අසනීප වුනා..... අරව මෙව්ව හින්දා සෑහෙන්ඩ ඉවර වුනා..."

ස්ටැන්ලියා ගොත ගහනවා.

"ත... තව දරුවො එහෙම ඉන්නවද?"
"ම්හු.... අපි දෙන්න විතරයි. අපි මැරිච්ච දාක ඔය සල්ලි ආන්ඩුවට තමයි"
"ඉතිං ඔච්චර සල්ලියක් තියාගෙන මේ කොර ගගහා තවත් ඇවිදින්නේ.....?"
"එහෙම නොකර බෑනෙ ලමයා. රස්සාව කොරන්ඩ එපැයි..... මෙහෙම ගම්මුකො.... ඔන්න මං අසනීප වුනා... මායිය අසනීප වුනා.... අපිව බලාගන්ඩ එන්නෙ මොකාද? ඔය සල්ලි නොතිබ්බනං මෙලහට අපි දෙන්නම ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ වලකජ්ජ ගහලා....."

ස්ටැන්ලි රුපියල් දහයක් දුන්නා.

"එන්නං......!"

මිනිහා ගියා.


(තව කතාවක් දෙකක් තියෙනවා. ටිකක් දිගයි. පස්සෙ දාන්නං)

Saturday, July 14, 2012

සියළුම හිඟන බ්ලොග්කරුවන් වෙතයි....!



ඔබගේ ප්‍රියතම "Rear Gate" බ්ලොග් අඩවිය, නව නීති ප්‍රකාරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය සඳහා සියළු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙමු. ඒ සඳහා වන රුපියල් ලක්ෂයක ලියාපදිංචි ගාස්තුව මේ වනවිටත් දිග ලියුම් කවරයක බහා පැත්තකින් තබා ඇති අතර, වාර්ෂික ගාස්තුව වන රුපියල් පනස්දාහ මේ මොහොතේ මගේ ප්‍රිය බිරිඳ ගණන් කරමින් සිටී. එය පොඩි ලියුම් කවරයක දැමීමට නියමිතය. මීටද අමතරව ගරු කෙහෙලිය ඇමතිතුමා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කරන සේවය වෙනුවෙන්ද, යුද්ධය පැවති කාලයේ එතුමාගේ කේසර සිංහ නාදයෙන් කොටි හොඳටම බයකිරීමෙන් කල සේවය වෙනුවෙන්ද, තවත් චුට්ටං කවරයක් සූදානං කරන්නේද යන්න පිලිබඳව අප දෙදෙනා අතර සාකච්ඡාවක් තවත් පැය බාගයකින් පැවැත්වේ.

ඇත්ත වශයෙන්ම අපි රටේ නීතියට යටත් විය යුතුය. බොරු හේතු පෙන්වා නීතියෙන් මගහැරයාම ඉතා වැරදි ක්‍රියාවකි. උදාහරණයක් විදිහට W3 Lanka ලියන 'පැරා' ඒ 'වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවට' මහා බොරුවක් ඊයේ ඇද බා තිබුණි. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදිය. බ්ලොග් අඩවි යනුත් එක්තරා වෙබ් අඩවි ජාතියක් බව අප පිලිගත යුතුය. අනික එය ආඩම්බරයටද කරුණකි. 'පැරා' කියා තිබූ අනික් බොරුව නම් එය ප්‍රවෘත්ති සපයන අඩවියක් නොවේය යන්නයි. ඒකත් පල් බොරුවකි. ඉතා සංවේදී හදවතක් ඇති මා වෛද්‍ය උපදෙස් මත "දිනමිණ" පුවත්පත නොබලන අතර එහි පළවූ වැදගත් ප්‍රවෘත්ති රැසක් අප දැනගත්තේ W3 Lanka අඩවියෙනි. එය ප්‍රවෘත්ති සැපයිමක් නොවන්නේ කෙසේද? ඕක බ්ලොක් කරන එකමයි හොඳ.

මේ අතර තවත් පානියක් ඇද බා තිබුනේ ත්‍රිමාණ වෙබ් එකය. ඒගොල්ලෝ සල්ලි නැති බවට නාහෙන් අඬා තිබුනි. මේකත් පල් බොරුවකි. සල්ලි නැත්තං පාර්ට් ටයිම් ජොබ් එකක් නොකර අතින් කයිට් කරන් වෙබ් එකක් පටන් ගත්තේ ඇයිද කියා ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් ඒගොල්ලෝ වහාම අපට දිය යුතුය. (සොරි. අපට නොවේ. ගරු ඇමතිතුමාටය).

පනතේ හැටියට ලියාපදිංචි කල යුත්තේ ප්‍රවෘත්ති සපයන වෙබ් අඩවි පමණක් බැවින් බ්ලොග් අඩවි ලියාපදිංචි කරන්නේ අහවල් මගුලකටදැයි අපේ බ්ලොග් බුද්ධිමතුන් අතර මහත් සංවාදයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව මගේ සහ මා බිරිඳගේ සාමූහික අදහස මෙහි බහාලමි.

ඇත්තෙන්ම අපි ලියන නානාප්‍රකාර දේවල් ලියන්නේද විවිධ ප්‍රවෘත්ති පදනම් කරගෙනය. මා ලියන ගමේ ගොඩේ පොඩි සිද්දියක් වුව ප්‍රවෘත්තියකි. ඇතැමෙක් ලියන විරහ කවියක වුව ඇත්තේ කෙල්ල බූට් එක තැබීම පිළිබඳ ප්‍රවෘත්තියක්ම නොවන්නේද? මී අමතරව කාපු බීපුවා, ආගිය ගමන්, කක්කා කතා, කෑම හදන හැටි යනාදී සියළු දේවල ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇත. ඇමතිතුමාගේ නිර්වචනයට අනුව දැනට නැගලා යන රාවණ කතාවලද දිනමිණ පරයන ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇත.

අපි අපිට අවංක විය යුතුය. රටේ නීතියට අවනත විය යුතුය. අනික ලක්ෂ එකහමාරක් වැනි කාලයේ හැටියට සුළු මුදලක්වත් ගෙවා ගැනීමට නොහැකි හිඟන්නන් සිටීනම්, වහාම තම බ්ලොග් අඩවි නවත්වා හඳුන්කූරු නිෂ්පාදනය හෝ ඉඳිආප්ප සෑදීම වැනි ස්වයං රැකියාවක් ආරම්භ කිරීම දෙලොවටම වැඩදායක වනු ඇත. මෙයට පිළියමක් ලෙස අප දෙදෙනා ගරු ඇමතිතුමාට යෝජනා කරන්නේ අන්තර්ජාල ගාස්තු මෙගා බයිට් එකක් රුපියල් අසූ පහක්වත් කරන ලෙසයි. එවිට ඔය හිඟන වෙබ්කාර හැත්ත දූරීභූත වෙලාම යනු ඇත.

ගරු ඇමතිතුමාගේ මේ නව විධිවිධානවල ගාස්තු තීරණය කොට ඇති ආකාරය ගැනද එක එකා අවලම් කතා කියනු මට ඇසුනි. එබැවින් ඒ පිළිබඳවද සත්‍යය හෙළිදරව් කිරීම මගේ යුතුකමකි. ඇත්තටම ඔය රුපියල් ලක්ෂය හිඟන්නන්ට මහා බක්කක් වුවද ගරු ඇමතිතුමාට මහා කජ්ජක් නොවේ. එය එතුමාගේ වරදක් නොවන අතර පූර්ව පින් මහිමය නිසා සිදුවූවකි.

ඔය ලියාපදිංචි ගාස්තුව කීයක් කරමුදැයි ලේකම් තුමා ඇසූ විට ගරු ඇමතිතුමාට එක්වරම සිහිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී එක් බැල්කනි කොටුවකින් තවත් කොටුවකට පනින්නට ගොස් එතුමාට වූ අකරතැබ්බයයි. එතුමාට එක්වරම එම හෝටලයේ දවස් දෙකක බිල කියවී ඇති අතර ලේකම් තුමා එය කෙටුම්පත් කර ඇත. වාර්ෂික ගාස්තුව ගැන ලේකම්තුමා විමසද්දී ඇමතිතුමා සිතමින් සිටියේ නවක නිළියන්ගේ රංගන කුසලතා තවත් පිරිමැද ඔප් නංවන ක්‍රමයක් ගැනය. එහිදී එක්වරම එතුමාට ටෙලිනාට්‍යයක් අටයි තිහේ බෙල්ට් එකට දාගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් නිෂ්පාදකයෝ බලෙන්ම  දෙන තුටුපඬුර සිහිවී 'පනස්දාහයි' කියා ඇත. මේ ගාස්තු තීරණය වී ඇත්තේ එලෙසය. ඒවා ගැන අහිතක් සිතා පලක් නැත.

ගරු ඇමතිතුමාට දොස් කියන හිඟන බ්ලොග් කාරයන් සහ වෙබ් කාරයන්ට තවත් හොඳවයින් දෙකක් කීමට හිතේ තිබුනද මේ එයට වෙලාව නොවේ. සල්ලි ගනන්කොට අවසන් වූ වහාම, ඒවා අමාත්‍යාංශයට ගිහින් දෙනවාද? ගෙදරටම ගිහින් දෙනවාද කියා තීරණය කිරීමටද තවත් ඉතිරිව ඇත.

Tuesday, July 10, 2012

වෙන්ඩ ත්‍රස්තවාදියා - සුනිල් සාන්ත


එවෙලේ මම හිටියෙ හෙට්ටිපොල නගරයේ බස් නැවතුම අසල පුංචි හෝටලයක් තුල. ඇය හෝටලය තුලට ආව. ඇගේ නම රංජනී හෝ ජයන්ති වගේ එකක් විය යුතුයි. බොහෝ කෙට්ටුයි. කළුයි. බොහොම කටුක පරිසරයක වෙසෙන සිරුරක්. කිසිදු සැලකිල්ලකින් තොරව ඇඟ ලා ගත් පොඩිවුන දුඹුරුපාට බ්ලවුස් එකක් සහ ඇයට කිසිසේත් නොගැලපෙන පොඩිවුන දිග ස්කර්ට් එකක්. ඇගේ පයේ ප්‍රමාණයට වඩා අඟල් එකහමාරක් විතර විශාල පැරණි පාවහන් යුවලක්.

ඇගේ අතේ එල්ලී ආ කෙලි පොඩිත්තිත් ඇයට දෙවෙනි නෑ. ඇය ඇඟලාගෙන හිටියෙ තරමක් දිග රතුපැහැති ටීෂර්ට් එකක්. ඒකෙත් තැන් තැන්වල පැල්ලම්. හුඟක් කෙට්ටුයි. ටිකක් උසයි. වයස අවුරුදු අටක් විතර ඇති. පොඩිත්ති සෙරෙප්පු දාල හිටියෙ නෑ.
දෙන්නා තරමක චකිතයකින් වගේ කඩය තුලට ආවෙ. පස්සෙ ගියේ පේස්ට්‍රි දාල තිබ්බ ෂෝකේස් එක ළඟට. පොඩිත්තිගෙ ඇස් නානාප්‍රකාර පේස්ට්‍රී අතර අතරමංවෙලා තිබ්බෙ.

“පාං ගෙඩියක් කීයද...?”

කැෂියර් කොලුව නිකමටවත් උං දිහා බැලුවෙ නෑ.

“පනස් අටයි!”

පරණ අත්බෑගයකින් පසුම්බියක් එළියට ආව. ඒකෙන් පණහෙ කොලේකුයි සිල්ලර කාසි වගයකුයි කැෂියර් එක උඩට වැටුනා. කොල්ලා ෂොපින් බෑගයකට පාන් ගෙඩියක් දාල දුන්නා. අම්ම ඒකත් අරං එලියට ගියා. කෙලි පොඩිත්ති ෂෝකේස් වීදුරුවට පිටින් අර පේස්ට්‍රීස් දිගේ ඇඟිල්ලෙන් ඉරක් ඇඳගෙනම අම්ම පස්සෙන් ගියා. මම උන්නෙ සෝස් පොඩ්ඩක් තවරගත්තු ඔම්ලට් බන් එකක් ගිලිමින්.

මට නැවත මේ දෙන්න හමුවුනේ බස් නැවතුමේදි. හලාවත බස්එක එනකං මම උන්නෙ. එලියෙ තරමක වැස්සක් තිබුණා. මට ඇයත් සමග මොනවහරි කතාකරන්න ඕනෙ වෙලා තිබුණා.

“වහින එකනං හොඳයි...”
“හ්ම්.....”
“කොහෙ යන ගමන්ද...?”
“උසාවි ආවා....!”
ඒක මට කලින්ම හිතාගන්න තිබුණා. ඕකට නැතුව මේ කෙහෙම්මල් ටවුමට මොකට මනුස්සයො එන්නද?
“අද නඩුවක් තිබුණද?”
“හ්ම්.... අපේ එක්කෙනා....”
“මොකද්ද කේස්එක?”
“කසිප්පු නඩුවක්..... (අහවල්) පොලිසියෙ බල්ලො.....”
.............
“විකුණලද....?”
“එහෙමනං දුක නෑ..... අපේ එක්කෙනා බොනව තමයි.... ඒත් එදා බීලවත් නෙමෙයි.....”
“කෝ දැං....?”
“ඔය ළඟට ගිහිං එන්නං කියල ගියේ.....”

ඒක කිව්වෙ කට කොණක පොඩි හිනාවක් එක්ක. කොහෙන්හරි පොඩ්ඩක් සප්පායම් වෙන්න යන්නැති.

ඇය කතාකරන්න ගත්තා. පොඩ්ඩි අතේ එල්ලීගෙන මාරුවෙන් මාරුවට මං දිහාත්, වට පිට මිනිස්සුන්ගෙ අරුමෝසම් දිහාත් බල බලා උන්නා. වැස්ස දිගටම වැස්සා.

“අපේ එක්කෙනා කුලිවැඩ කරන්නෙ.... එකක් කියල නෑ... හුඟක් කොප්පරා මැහි වල.... දවසක් එයාම කිව්ව හැමදාම අනුංගෙ කොප්පරා වේලන එකේ අපිම වේලුවනං මොකද කියල.... ඒගමන මං ඉන්න ඇග්රෝ සමිතියෙන් රුපියල් පාලොස්දාහක ණයක් ගත්තා. ඒකෙන් තමයි ඔය වතුවල තේරෙන පොලුයි... රෑට මුරකාරයො විකුණන පොලුයි බයිසිකලේ ඇදල ගොඩගහගත්තෙ.....

... සිමෙන්ති කොට්ටයක් ගෙනත් ගෙදර තිබ්බ පරණ ගඩොල් ටිකෙන් පොඩිවට කොප්පරා මැස්සකුත් අපි දෙන්නමයි හැදුවේ....... ගිය සතියෙ සඳුදා පොල්ටික ලෙලිගහලා බිඳින්න ගත්තෙ. එයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුත් ඇවිත් හිටියා. එහෙ සඳුදා නිවාඩුයිනෙ......”

නිවාඩු දවස කියන්නෙ සතියෙ පොල දවස. කුලිවැඩ කරන මිනිස්සුන්ට පඩි හම්බවෙන්නෙ එදා උදේට.

“ඉතිං කට්ටිය - එහෙ කසිප්පු විකුණන එකෙක් ඉන්නවා බොනී කියලා... අපේ එක්කෙනා එක්ක හිත හොඳ නෑ- උගෙං අරක්කු පැකට් දෙකකුත් ගෙනත් කලවං කරං බිබී හිටියෙ...... අපේ එක්කෙනා බිව්වෙත් නෑ.....”

“ඉතිං....?”

“ටික වෙලාවකිං පොලිසියෙං පැන්නා.... අපි කසිප්පු විකුණනවා කියලා අල්මාරි ඇතුලෙ හිට හෙව්වා.... අංතිමට ඔය ගෙනාපු හිස් කසිප්පු පැකට් දෙකයි... කලවං කරපු කෝප්පෙ අඩියෙ තිබිලා ඩිංගකුයි අල්ලගත්තා..... අරික්කාලක්වත් නෑ..... පස්සෙ හවස එකට පොලිසියට එන්ඩ කියලා අපේ එක්කෙනාගෙ අයිඩිංටියත් අරං උං ගියා......”

“මාර වැඩක්නෙ....!”

“පස්සෙ අපේ එක්කෙනා පොලිසි ගියා..... ගිහිං අර පොලිස්කාරයො එනකං බංකුවක් උඩ රෑ අට වෙනකං ඉඳලා.... රෑවෙච්චි හිංදා අදුනන මල්ලි කෙනෙක් එක්ක මාත් බලන්ඩ ගියා.... මුං රෑ අටහමාරට ඉතර ඇවිත් කටඋත්තරයක් අරං එයාව කූඩුවට දැම්මා..... පහුවදා උදේ නඩුදිනේ දන්නලා ආපහු එව්වා... මේ බල්ලො බෝතල් දෙහෙකට දාලා........”

ඇගේ ඇස් කෝපයෙන් දිළිසුනා.

“බෝතල් දෙකකට බර ගානක් ගහනවනේ.....”

“ඔව්... එකොලොස්දහක් විතර ගහනවලු..... ඒගමන අර කොප්පරා ටිකත් විකුනලා.. තව ගානක් ණයටත් හොයාගෙන මේ ආවෙ......”

“කීයක් දඩ ගැහුවද....?”

“පෙරකදෝරු මහත්තයා උසාවියෙදි කතාකරල එක බෝතලේකට දඩ ගැහුවා.... පන්දාස් පන්සීයක්......”

ඒක කිව්වෙ ලොකු සහනයක් ලැබුන ගානට. එක අතකට ඇත්ත. අර ණයට හොයාගත්තු ගානවත් ඉතිරි නැතෑ. වැස්ස පොඩ්ඩක් තුරල් වෙමින් තිබුණා. සුදු සරම එක අතකින් උස්සගෙන පොද වැස්සෙ තෙමීගෙනම ඔහු ආවෙ ඒ වෙලාවෙ.

“මෙයා තමා......”

කළු කෙසඟ මනුස්සයෙක්.

“මෙච්චරවෙලා වෙච්ච සිද්දිය තමා කිව්වෙ......”

ඔහුගෙ මුහුණෙ තිබුණෙ කෙන්තියත් එක්ක පොඩි ප්‍රබෝධමත් ගතියක්.

“ඕං පලවෙනි වතාවට පොලිසිත් ගියා... උසාවිත් ගියා...... කමක් නෑ.... ඕවා තියෙන්නෙ අපිට යන්ඩනේ.... නැද්ද....?”

කතාවෙ ඉතිරි ටිකකුත් තියෙනව කියල මට දැනුනා.

“දැන් මොකටද පොලිසියෙන් බෝතල් දෙකකට දැම්මෙ....?”

“ඕක කෙරුවෙ අර බොනිය කියල එකෙක්. ඌ තමා එහෙ....”

“මෙයා බොනිය ගැන මට කිව්වා.....”

“ආ...ං .. ඌ මාත් එක්ක හොඳ නෑ.... එදා උදේ ඔය පොලිස්කාරයො පගාව ගන්ඩ බොනියගෙ ගෙදර ගිහින් තියෙනවා.... ගිහින් කියල මේ පාරනං බෝතල් දෙකකවත් නඩුවක් ඕනෙමයි කියල..... අරුං කසිප්පු පැකට් දෙක අපේ අහ ගෙනාව කියල දන්න හින්දා බොනිය උංව මෙහෙ එව්වා..... බල්ලා....

වැඩේ ඒක නෙමෙයි.... ඔය පොලිස්කාරයො අපිටත් වඩා දන්නව විකුනන්නෙ මොකාද නැත්තෙ මොකාද කියල.... අනික බොනියලගෙ කසිප්පු බෝතල් විස්ස තිහ ඇල්ලුවත් මුං දාන්නෙ වැඩිම උනොත් බෝතල් දෙකයි.... මගෙ ගෙදර තිබ්බ අරික්කාලක්වත් නැති එකට මුං දෙකක්ම දැම්මා..... හෙන ගහනව ඕකුංට..... අනික බොනිය පහුවදා උදේ ඇවිත් මට පාට්ටෙකකුත් දැම්ම කසිප්පු ගත්තෙ උගෙං කියල කට උත්තර දුන්න කියල.... පොලිසියෙ එවුං ඒකත් මූට කෝල් කරල කියල.... පර බල්ලො.......

මොකද අපි කියල පොලිසියත්තෙක්ක නඩු කියංඩද?.... කියන ගානක් දෙන්ඩ බලං තමා ආවෙ..... අම්මප මට තුවක්කුවක් තිබ්බනං බාවනව ඔය පොලීසියම.......”

“නම මොකද්ද...?”

“සුනිල් සාන්ත...!”

වැස්ස පෑව්වා. බස් එක ආවා. ඒගොල්ලොත් මාත් එක්කම හලාවත බස් එකේම නැග්ගා. කොහෙන් බැස්සද කියලනං දැක්කෙ නෑ.

පොලිසියම බාවන්ඩ කතා කලත් සුනිල් සාන්තගෙ මූණෙ එච්චර මැරෑටි ගතියක් මෝරල තිබ්බෙ නෑ. අඩුගානෙ ඌ ගල්කැටයකින්වත් ගහන එකක් නෑ. ඒත් පොලිස් දෙපාර්තමේන්තුවම ගිනිතියන්ඩ තරම් ගින්නක් ඒ ඇස් දෙකේ තිබුණා.

හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. කවදහරි ඔයවගේ නූගත් සුනිල් ශාන්තල පනහක් හැටක් එකතුවුනොත් නම් මොනවහරි වෙන්නත් ඉඩ තියෙනවා.
අන්න එදාට ඔය වගේ නූගත් මිනිමරුවන්ගෙන් අර කැහැටු කෙලිපොඩිත්තිගෙ අනාගතේ බේරල දෙන්ඩ, අපිටත්  ‘රට’ වෙනුවෙන් යුතුකොමක් ඉටු කරන්ඩ වාසනාව සක්තිය ලැබේවි.

නොදකින් විතරක්!

Follow by Email