Monday, February 27, 2012

රට....?


රට.......?
තොපෙ අම්මගෙ රෙද්ද....!

Saturday, February 11, 2012

වැද්දන් (නො)බැලීම....

පින්තූරය -http://kataragama.org/
 ඔන්න සති කීපෙකට කලින් මම සේවය කරන ආයතනයෙන් දඹානට ට්‍රිප් එකක් ගියා. වැද්දො 'බලන්න'. ඕක තමා නිධාන කතාව.

'වැද්දන් බැලීම' කියන්නෙත් හරි ෂෝක් වැඩක්. සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිතය තුල හැමෝටම ලොකු අවුලක් තියෙනවනෙ. මොකද කවුරුවත් විශේෂ නෑ. ඉතින් විශේෂ කෙනෙක් වෙන්න මාර ගේමක් දෙන්ඩ වෙනවා. ඕකට විවිධ දේවල් කරනවා. සමිති සමාගම් වල නිලතල දරනවා, ෆැෂන් කරනවා, කාර් එකක් ගන්නවා, දේශපාලනය කරනවා, භාවනා පන්ති යනවා, දරුවව ලොකුම ලොකු ඉස්කෝලෙට දානවා, බ්ලොග් ලියනවා,......:). කොටින්ම පිරිසක් ඉන්න තැන කවුරුහරි "ඔයාට කියන්ඩ ඊයෙ අපේ බබා......." කියල කවුරු හරි පටන් ගත්තොත්, එයාගෙ කතාව ඉවර කරන්ඩ කලින් තව දහ දෙනෙක් විතර තම තමන්ගෙ බබාල ගැන කතා පටන් ගන්නවා.

හැබැයි ඇත්තම කතාව නම් අන්තිමේදි හැමෝම ෆේල්. මොකද සාමාන්‍යයෙන් කවුරුවත් එහෙමටම කාවවත් ගනන් ගන්නෙ නෑ. ඉතින් ඉතුරු වෙන්නෙ වැද්දො බලන්න යන එක තමයි. 
බොරුනම් දඹානට ගිහින් වැද්දෙකුට කීයක්හරි දීල පොටෝ එකක් ගහල, ගෙදර ඇවිත් ඒක බලන්නකො ඔබ කොච්චර විශේෂද කියලා.

ඔන්න දැන් ට්‍රිප් එකට. මොකා ආවත් නැතත් හරියටම උදේ හයට පිටත් වෙනවා කියපු හින්දා හතයි දහය වෙද්දි හලාවතින් පිටත් වෙන්න ලැබුනා. දැන් ඉතින් යනවා.  පළමු නැවතුම උදේ කෑම සඳහා මාවතගම පැත්තෙ හිතවතෙකුගේ ගෙදර. ගතකල කාලය පැය එකහමාරයි. ඔන්න උදේ එකොලහට ආපහු පිටත්වුනා. 

දැන් බස්එක කඳු දිගේ බඩගානවා. නුවර කිට්ටුව කීප පොලක නවත්තලා මත්පැන් අරං, තවත් දෙතුන් පොලකින් හපන්ඩ ඒවා අරං, හිතවතෙක් සූදානම් කරල තිබුන දවල් කෑම පාර්සල් ටික ගන්න රන්ටැඹේට එනකොට දවල් එකහමාරයි. ඔය අතරෙ හොඳට වහිනවා. ලොකුම ප්‍රශ්නෙ මේ වැස්සෙ බොන්ඩ තැනක් හොයාගන්න බෑ :). සමහරු බස්එකේම වැඩේ පටන් අරං. කොහොම හරි මහියංගනේ පන්සල ලඟට එද්දි දෙකහමාරයි. තවත් විනාඩි විස්සක් විතර කන්ඩ(බොන්ඩ) තැනක් හොයලා, නැති තැන පන්සල අයිනෙ බස් එක නැවැත්තුවා. 

නොබොන අය කෑම පාර්සල් අරං පන්සලේම ගොඩනැගිල්ලකට ගියා. බොන අය බස්එක ඇතුලෙම පටන් ගත්තා. කාල(බීල) ඉවරවෙලා ආපහු ගමන පටන් ගත්තා. දැන් දඹානෙ ගියත් වැඩක් නැති නිසා සොර බොර වැවට යන්ඩ කතාව. කොහොමින් හරි සොර බොර වැවට යද්දි හතර හමාරයි. ඒ මදිවට වැස්ස.

ඔන්න බේබදු සෙට් එකයි තව කීප දෙනෙකුයි නාන්ඩ ගියා. නාල එනකම් අනික් අය බස්එකේ හිටියා. අන්තිමට නනා හිටපු එවුන් බලෙන් ගොඩට අරන් බස් එකට පටෝලා ඉවර වෙද්දි හයට දහයයි. ඊට පස්සෙ ආපහු එන්ඩ පිටත්වුනා. අතරමග දෙතුන් පොලක විතර නවත්තලා තේබීලා එලවළු කාරිය අරන් හලාවතට එද්දි රෑ එකොලහමාරයි.

සාරාංශය මෙච්චරයි. හතලිස් තුන්දෙනෙක් බස් එකක නැගලා, පැය හතක් තිස්සෙ මහියංගනේට ගිහින්, කීපදෙනෙක් සොරබොර වැවෙන් නාල ආපහු ආවා. (ඇත්තටම මේකත් සියඹලා කැටගරියෙ එකක්)

මගේ කතාව පටන් ගන්නෙ දැන්. අපේ ආයතනයේ සේවය කරන චමිලාත් ට්‍රිප් එක ගියා. වෙන ආයතනයක වැඩ කරන එයාගෙ මහත්තයයි, වයස අවුරුදු  හතරක් විතර වෙන පුතයි, අවුරුදු දෙකක් විතර වෙන දුවයි අරන්. ට්‍රිප් එක පුරා දරුවෙක් චමිලාගෙ අතේ. අනික් දරුවා එයාගෙ මහත්තය අතේ. මම දන්න විදිහට දරුවන්ට වැසිකිළි යන්න වගේ ප්‍රශ්න කීපයක් නිසා මහියංගනය පන්සල බලන්නවත් චමිලාට යන්න බැරිවුනා. වැස්ස නිසා වැවේදිත් බස් එකේමයි උන්නෙ. එයා පැය හතක් විතර බස් එකක මහියංගනේ ගිහින් බස්එකේම ඉඳලා ආපහු ආවා.

පහුගියදාක මම චමිලාගෙන් ට්‍රිප් එක ගැන ඇහුවා.

"ට්‍රිප් එකද? ම්....හොඳයි නේද?"
"මොකක්...?!?"
"නෑ හොඳයි.... අපේ මහත්තයටනං එපාවෙලා..... මටනං හොඳයි"
"යකෝ...... ඒ කොහොමද බං? දරුවොත් උස්සගෙන... දවසක් බස් එකක?"
"ම්... මෙහෙමනේ. කොහොමත් මම පාන්දර හතරට නැගිටින්නෙ. එතන ඉඳං උයනවා, රෙදි හෝදනවා, අතුගානවා, දරුවන්ට කවනවා, ඔෆිස් දුවනවා, ඔෆිස් එකෙත් කෙළවරක් නෑ..... ආපහු ගෙදර දුවනවා, උයනවා, කවනවා, රෙදි හෝදනවා, අයන් කරනවා..... නිදාගනිද්දි රෑ එකොලහ පහුවෙනවා....
මං හිතන්නෙ ඔය අවුරුදු දෙකකට විතර පස්සෙ මම පැය හත අටක්වත් බස්එකක හරි නිස්කාන්සුවේ එකතැන ඉඳගෙන හිටියේ......"

"ම්..... ඒකත් එහෙමද?"
"ඒ උනාට අපරාදෙ නේද? අපිට වැද්දෙක් බලාගන්ඩ බැරිවුනානෙ......"

චමිලා හරි. වැද්දෙක් බලාගන්න බැරිවුන එක හරි අපරාදයක් තමයි.

Follow by Email