මේක ලියන්නෙ පොඩි හදිස්සියකට. ඊයෙ පෙරේදා පොඩි විමර්ශනයක් දාල බලද්දි මේ
බ්ලොග් එක අවුරුදු දෙකක් විතර ඇදගෙන ඇවිල්ලා. ඇත්තටම මට ඒක අමතක වුනා. ඇනිවසරි
පෝස්ට් දාන්ඩ හිතේ නොතිබ්බත් දුකාගෙ තුන්වෙනි ඇනිවසරේ කියවද්දි මටත් පොඩිවට එකක්
දාන්ඩ හිතුනා. එකම එක කාරණේකට.
කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙ බ්ලොග් විතරක් ස්ථිර වෙන්ඩ විදිහක් නැනෙ.
ඉතින් කොයිවෙලේක හරි මේක අල්ලල දාන්ඩ වෙයි. එතකොට මට කරන්ඩ තියෙන අත්‍යවශ්‍ය
ස්තුති ටිකක් කරගන්ඩ බැරිවෙනවා. ඕක තමයි
හේතුව. ආයෙ කොච්චරකල් බ්ලොගේ කලත් ‘වන් ඇන්ඩ් ඔන්ලි’ ඇනිවසරි පෝස්ට් එක මේක.
බ්ලොග් ගැන දැනගත්තෙ ලොකු අහම්බයකින්. වෙන ලියකියවිලි වගයක් ගෙනා සීඩී එකක
වැරදීමකින් රයිට් වෙලා තිබ්බ ටැබූගෙ ලිපියක් මගින්. ඒ වකවානුවේ විකල්ප අදහස්
අහේනියකින් හිටපු මට මේක මහා අරුමයක් වුනා. වාරණයකින් තොරව අදහස් බෙදාගන්න පුලුවන්
තැනක්............
මගේ ආර්ථිකයට කොහෙත්ම
නොගැලපෙන අන්තර්ජාල සබඳතාවක් ගන්න තීරණය කලේ බ්ලොග් කියවන්නමයි. ඒ පටන් ගත්තු ගමන
තමා මේ..........
මම හිතන්නෙ මේක තමයි අනාගත සන්නිවේදන මාධ්‍යය. ඒ මොකක් උනත් අධිපතිවාදී
ජනමාධ්‍ය (බුදු අම්මෝ මාධ්‍යවේදියො) හතර මායිමකට වැද්ද නොගන්න, ලොකු සම්බන්ධකම්
නැති, ව්‍යාකරණ හරියකට නොදන්න අපි වගේ අවශේෂ මිනිස්සුන්ට හිතේ තියෙන දෙයක්, කැමති
විදිහකට කියන්න ඉඩකඩ ලැබුණෙ මේකෙන්. බ්ලොග් නොතිබ්බනං අද මමත් නෑ. මාරයත් නෑ. කතන්දරත්
නෑ. දුකාත් නෑ. සඳරූත් නෑ. අවුට්සයිඩරයත් නෑ. අමිලයත් නෑ. නලිනිත් නෑ. සොසියත් නෑ...........
ඔය කී නොකී එකෙක්වත් නෑ. අපි ඔක්කොටම ගෙවල් වලට වෙලා පල් පජාති පත්තර ආටිකල්
කියවලා, මෙගා ටෙලියක් දෙකක් බලාගෙන දත්මිටි කකා ඉන්න තිබ්බා.
මම ලියන ඒවා කියවන්න කැමතියි කියල ගොඩක් දෙනෙක් කියල තියෙනවා. ඒ උනාට ඇත්ත කතාව තමයි මම ලියපු එකක් මගෙ ගමේ
සාමාන්‍ය මනුස්සයෙකුට කියවන්න දුන්නොත් වැඩිම උනොත් “ආහ්... උඹ ඒකත් ලිව්වද” කියල
අහයි. ඇත්තටම කියනවනං මම ලියන ගොඩක් දේවල් මගේ පරිසරයේ සාමාන්‍ය සංසිද්ධි. මෙතෙක්
උනේ මේවා සන්නිවේදනය නොවුනු එක. අන්තර්ජාලය වගේ මෙවලමක් මේ පරිසරයට ‘ඇතුලට’
නොපැමිණුන එක. ඒ ගැන හිතද්දි මට සතුටක්
දැනෙනවා. ඒසතුටට මාරයත් අවුට්සයිඩරයත් සඳරූත් තවත් පිරිසකුත් සාක්ෂි ඇති.
පලමු ස්තුතිය කතන්දරට. මගේ පෝස්ට් තුනහතරක් කියවලා, ඒක අගය කරලා කතන්දර
මේල් එකක් එවලා තිබුණා. මම කීයටවත් බලාපොරොත්තු නොවුන එකක්. මම එයාට ඇරිය උත්තරෙත්
එච්චරම පොසිටිව් එකක් නෙමේ. ‘අගය කිරීමට ස්තුතියි. නැතිනම් මේකත් ඔහේ කම්මැලිකමට
යටවෙලා යන්න තිබුණා’ වගේ එකක්. පස්සෙ කතන්දර මගේ බ්ලොග් එක ගැනම පෝස්ට් එකක් දාල
තිබුණා. ඒ වෙනකොට තිබ්බ ජනප්‍රියම බ්ලොග් එකක ෆුල් පේජ් ඇඩ් එකක්. ඒ වාසනාව ලබපු
එකම බ්ලොග් කරුවා මමද මන්දා. (ආ.. නලිනි චන්දිමාත්)
ඊළඟට ටැබූ/බියෝන්ඩ් ෆ්‍රේම්/ලංකා නිව්ස් වෙබ් වගේ අය දුන්නු සහයෝගයටත් ස්තුතියි. ලාංකීය,
සිංහල, කොත්තු ඇතුළු සින්ඩි ටිකටත් ස්තුතියි.
ඊළඟට මෙතෙක් කල් මේක ලියන්න හිතුනෙ කියවන්න පිරිසක් ඉන්නවා කියන එක දැනුනු
නිසා. කියවපු හැමෝටමත් ස්තුතියි. කමෙන්ට් කල හැමෝටමත් ස්තුතියි. තමුන්ගෙ බ්ලොග්
රෝල් වල ඉඩක් දීල, ෆේස්බුකියෙ ෂෙයාර් කරල උදව් කල හැමෝටමත් ස්තුතියි.
ලියන්න තිබුණ ධෛර්යය බිංදුවට වැටුන දවස්වල කතාකරල දිරිගන්වපු හැමෝටම
ස්තුතියි. දැනට මාත් එක්ක තරහාවෙලා ඉන්න ගස්ගෙම්බ, තොටත් ස්තුතියි. ජාල සබඳතා ඩිස්කනෙක්ට්
කරපු කීප වතාවකම බිල ගෙවල දාපු සත්ගුණවත් මහා
ව්‍යාපාරික J සුජියාටත් ස්තුතියි.
තව එකක්. අවුරුදු දෙකක මේ පිස්සුව ඇතුලේ ලියපු කියපු දේකින් හෝ වෙන
විදිහකින් මා නිසා සිත් රිදුන කවුරුහරි ඉන්නවනං සමාවෙන්න.
ලියන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ මටත් තියෙනවා. මොනව උනත් යමක් ලිව්වාම හිතට ලොකු
සැහැල්ලුවක් දැනෙනවා.
ජීවත්වීම එන්න එන්නම අසීරුයි. එදිනෙදා ආහාර/දරුවන්ගේ අධ්‍යාපනය/සෞඛ්‍යය වගේ
මූලික අවශ්‍යතා වෙනුවෙන් බොහෝ දේවල් අතහරින්න වෙලා තියෙන වකවානුවක්. මම දන්න අති
බහුතරයකට එහෙමයි. මේ වනවිට අත්‍යාවශ්‍ය නොවන දෙයකට මම ගෙනියන්නෙ මේ බ්ලොග් එක
විතරයි මම හිතන්නෙ. මේක ජීවිතයක් නෙමෙයි තමා. නමුත් දරුවන්ගේ අනාගතය ගැන බියක් සහ
ඔවුනගේ අවශ්‍යතා සිතූ පරිදි ඉටු කිරීමට නොහැකිවීම පිළිබඳ දුකක් මිස, අල්පේශාඛ්‍ය
ජීවිතය ගැන පෞද්ගලිකව ලොකු පසුතැවීමක් නෑ.
බොහෝ දෙනෙක් අකමැති, මෙහි ලියවෙන දේශපාලන පෝස්ට් වල මූලය ඒක වෙන්න ඇති. ඒවා
ලිව්වා කියලත් රටේ මොකුත් වෙනසක් වෙන්නෙ නැති බව මම දන්නවා. නමුත් හිතට එන ආවේගය
පිරිසක් එක්ක බෙදාගත්තාම පොඩි සැහැල්ලුවක් දැනෙනවා. මේ බ්ලොගයේ මෙතෙක් ලියැවී ඇති
සියළු ලිපි ඒ මොහොතේ ලිවිය යුතුම යැයි තදින්ම සිතුනු ඒවා. ඇතැම්විට මාස ගණන්
නොලියා උන්නත් මකුළු දැල් කැඩීමේ අරමුණින් හෝ බලෙන් ලියා දැමූ එකදු ලිපියක් මෙහි නැහැ.
ඉතින් ඔහොම තමා. මොනව උනත් එදිනෙදා මගතොට හමුවෙන මුහුණෙන් පමණක් කතා කරන
බොහෝ මිනිසුන්ට වඩා, මුහුණු නැති - ඇතුලතින් අදහස් බෙදාගන්න මිනිසුන් හමුවන මෙතැනට
මම ආදරෙයි.
ඇනිවසරි ඉවරයි.