Sunday, December 4, 2011

අධිවේගෙට ආල වඩන සියාතුවේ......

සියාතුවේ ඉතිං කොහොමද බං...? පහුගිය ටිකේ උඹලව අමතකම වෙලා තිබුණෙ....... රටේ තියෙන ප්‍රශ්නත් එක්ක... දන්නැද්ද?.... එහෙං අර සුදුකොඩි කේස්එක... අරහෙ ජේවීපී එක කැඩිලා.... යූ.එන්.පී එකෙත් අභ්‍යන්තර අර්බුදනෙ.... හාබර්එකේ ගලේ ප්‍රශ්නෙ නං ඉවරයි..... දුමින්දගෙ කේස්එක..? එපාම වෙනවා බං.... මුං රෙදි ගලෝගෙනනෙ නාගන්නෙ... අපිට තමයි පාරෙ බැහැල යන්ඩ බැරි.... හැබැයි ජනාධිපතිතුමා කෙලින් මිනිහා.... ඒ නොවෙන්ඩ..මේක...... ඇයි බං ආසනික්...?

ඉතිං කොහොමද? අගිදා උන්දෑ සනීපෙන්ද? පොඩි එකී බැන්දයි? ආ... උඹේ පොටෝ එකක් ෆේස්බුකියෙ දාල තිබුණා.... උඹ කහ ඉරකින් පාර මාරුවෙනවා... මම උඹේ පිටෙන් අඳුනගත්තෙ... ඔන්න හොඳඑකා වගේ පාර පනිද්දි ඔය විදිහට කහ ඉරෙන්ම පැනපං රජෝ..... අපිත් පාරෙ යන්නෙ දාහක් ප්‍රශ්න මැදනෙ බං.... අපිටත් කහඉර දැක්කාම තමා මේක පාරක් කියල මතක් වෙන්නෙ... හහ්... උඹලට ඉතිං මේවා ඇඟිල්ලෙන් ඇනල කියල දෙන්ඩ ඕනෙ  නෑ තමා.... ඔය අනුකාරක උගතුන්ට වඩා උඹලා වගේ අව්‍යාජ සිංහල ගැමියො කොහොමත් බුද්ධිමත්...

ඇත්තටම සියාතුවේ උඹල හින්දා තමා අපි අද බයක් නැතුව පාරෙ බැහැල යන්නෙ.... ඉස්සර කොයි වෙලේ කොතන පුපුරනවද..... අම්මෝ එහෙමත් කාලයක්..... අපේ ජන ජීවිතේ එහෙම පිටින්ම කඩා වැටිලනෙ තිබුණෙ බං.... මොනව උනත් 2004 දි උඹල තමයි මේක ගොඩදැම්මෙ.... උඹල පොලිටිකලි කරෙක්ට් සියාතුවේ...... කොළඹ බිස්නස්කාර හැත්ත ඩොලර් වලට මේක පාවල දෙද්දි ඈත හද්ද ඩොටේ ඉන්න ලංකාවෙන් තුන්කාලකට වැඩි උඹල මේක දිනෝල යුද්දෙ කරන්ඩ පුලුවන් නියම නායකය තැනට ගෙනාවනේ..... ආ.... අර චෙන්කලාඩි වලදි අතුරුදහන් වෙච්චි ගුණසිරි කොලුවගේ දීමනාව දිගටම ලැබෙනව නේද? මට ආරංචියකුත් ආව උඹල ඒ සල්ලිවලින් කොලුවට පිං පිණිස පන්සලට ලවුඩ්ස්පීකරයක් පූජා කලා කියල.... අන්න හොඳ වැඩ සියාතුවේ. බොහොම පින්.... ඔයවගේ ඒව තමා කරන්ඩ ඕනෙ... අපේ ශාසනේ අපිම රැකගන්ඩ එපායැ....

ඉතිං කොහොමද පවුලෙ විස්තර...? රංජනි කෙලී තාම රටද? ඒකිගෙ මිනිහා තාම කසිප්පු බිබී ඇවිදිනවද? ඕකුං ගංවල තියාගන්ඩවත් හොඳ නෑ බං...... අර කෙලී අරාබියෙ හැලිවලං හෝදල එවන තුට්ටු දෙක..... මතක ඇතුව උංගෙ කෙලි පැටව් දෙන්නා උඹල ගාවම තියාගෙන ඉස්කෝලෙ ඇරපල්ලා... ඔහොම බේබදු තාත්තල විස්වාස නෑ... අම්මෝ පත්තරවල තියෙන එව්වා.....  ඔය ඉඳහිටලවත් පත්තරයක් අරං බලපල්ලා... රට තොට ගැන දැනගන්ඩ......

ආ... රංජනිය ඇවිත් ආපහු රට යන්ඩ හැදුවොත් ලියාපදිංචි විදේශ රැකියා එකකින්ම යන්ඩ කියපං.... රට යන ගෑනුංව මරල අවයව කපාගන්න එකක් ඔය අරාබි හැත්ත කොරනවයි කියල ඉන්ටර්නෙට් එකෙත් තිබුනා.... බැරි වෙලාවත් එහෙම එකක්වත් උනොත් උඹලට වන්දියක් වත් ගන්ඩ බැරිවෙයි..... හැබැයි ඔය හොර ඒජන්සි වලට අපේ ආන්ඩුව බොහොම තදින් ඉන්නවා....

නිහලා තාම වැලි ගොඩදානවද? ඌට ඉක්මනින් කටයුත්තක් කරල දාපං සියාතුවේ..... ගෙවල් හදාගන්නකං උන්නොත් ඕකා බේබද්දෙක් වෙලා නවතින්නේ..... පොඩි එකී ගාමන්ට් යනවද? අපරාදෙ.. ඒකිට විශ්‍රාම වැටුපක් දෙන්ඩ හදපු එකත් ජේවීපී කාරයො කෑවනෙ.... කමක් නෑ... ඒකි උඹලට බරක් නොවී ඉන්න එකම මදෑ.. අඩුගානෙ ඒකිගෙ රත්තරං බඩු ටිකයි... ඊපීඑෆ් එකෙන් කසාදෙට ගානකුයි වත් එකතුවෙන්නැතෑ....

ආ.... උඹලගෙ ගෙවල් පාර කොන්ක්‍රීට් කලාලු නේද? දැං ඉතිං මඩ ගොඩවල් පාගන්නැතුව සුද්ද වගේ ගෙදර යනව ඇති. ඇත්තටම රටේ කැපී පේන සංවර්ධනයක් තියෙනව බං.... (උඹලගේ චන්ද බලේට පින්සිද්ද වෙන්ඩ තමා). උඹලා ටීවී එකෙන් දකින්ඩ ඇති ඊයෙ පෙරේදා විවෘත කරපු අධිවේග මාර්ගෙ.... පෙරේදා පවුල පිටින්ම අපිත් ඕකෙ ගියා.... පිස්සු හැදෙනවා සියාතුවේ.... අපිත් කවද කාපු ටකරංද? හහ්.... ඇත්තටම අපි ලෝකෙත් එක්ක යන්ඩ මේවා තව හැදෙන්ඩ ඕනෙ..... බලපං.. කොච්චර කාලෙ ඉතුරුද? අධ්‍යාපනය, සෞඛ්‍යය ඔය කොයි දේත් ඒ එක්ක සංවර්ධනය වෙනවා.... එව්වගෙ ප්‍රතිලාභ පෙරිලා පෙරිලා හරි අන්තිමට උඹලටත් එනවනෙ බං..... අනික ආයෝජකයො උනත් ඕව දැක්කාම මෙහෙ එනවනෙ.... ඉතිං උඹගෙ කෙල්ලට උනත් තුට්ටු දෙකට එක ගාමන්ට් එකකම කඹුරන්ඩ ඕනෙ නෑ.... එකක් නැත්තං තව සීයක් තියෙයි. ඕකනෙ බං සංවර්ධනේ.... විදේශ විනිමය....

ආ... පොඩි වැඩක්.... මේ... ඕවට වියදං කරන්ඩ අපේ දුප්පත් රටේ සල්ලි නෑනෙ බං... ඉතිං පොඩි විදේශ ණයක් අරං තමා ඕක ආන්ඩුවෙන් හැදුවේ.... කියන්නෙ අපි වගේම උඹලටත් ඕකෙන් සොච්චමක් ගෙවන්ඩ වෙයි. මහ ගානක් නෙමේ. එකෙකුට දෙදාස් හත්සිය ගානක් වැටෙන්නෙ.... උඹලගේ පවුලෙ හත්දෙනයි නේ? අනේ සියාතුවේ ඒක ගෙවපං..... හදිස්සියක් නෑ. තව සෑහෙන කාලයක් තියෙනවා... තව අවුරුදු පනහකින් හරි උඹලගෙ මුණුබුරෙකුටවත් ඕක ප්‍රයෝජනවත් වෙනවමනෙ....
(අනික උඹලගෙ පැත්තටත් ඔයින් එකක් එයි. තව පහ හයක්ම හදනවයි කියන්නෙ)

ආ... ඉතිං ඔය පිටිසර ගම්මානවලම රිංගගෙන ඉන්නෙ නැතුව ලොරියක් කතාකරගෙන වත් ඇවිල්ල මේක බලහල්ලා... ඈත ඉඳං බලන්ඩ දෙනවා.... මේවා අපේ ජීවිත කාලෙදිම බලාගන්ඩ ලැබෙයි කියල කවුද හිතුවේ...? අපි ඒකට පිං කරලා තියෙනවා බං.......... ටීවී එකෙන් දැක්කා වගේ නෙමේ බං. හැබෑවට මරු....

ආ..... අහන්ඩ බැරිවුනා... කොහෙද උඹ අර දාඩිය දාගෙන කහ ඉර පැනං ගියේ...? මෙහෙමයි සියාතුවේ... ඔය ටවුන්බද යනකොට කමිසයක් සෙරෙප්පු දෙකක්වත් දාගෙන යමං.... (උඹලට සල්ලි නැතිකම නෙමෙයිනෙ.... යකෝ වී වලට සහතික මිලකුත් දීල තියෙද්දි.....) . මොකද මේ පොටෝ ජාත්‍යන්තරේට යනවනෙ බං.... අන්තිමේදි අපිව කන්ඩ බලං ඉන්න පර සුද්දො සිංහල බෞද්ධ ගැමියා කියන්නෙ කැලේ ඉන්න වැද්දෙක් කියල ගත්තොත් අපි කොහොමද ටයි කෝට් ඇඳං ඕකුං ඉස්සරහට යන්නෙ...? උඹ වැරදියට හිතන්ඩ එපා හරිද? මොනා උනත් මේ රටේ රජ කරන්නෙ උඹලගෙ සිංහල බෞද්ධ අව්‍යාජ ගැමි මතවාදෙ...... ඒ වෙනුවෙන්ම නියම නායකයත්වයත් අපිට තියෙනවනෙ.....අපි ඒ වෙනුවෙන් මරාගෙන උනත් මැරෙනවා.... මං ඊයෙත් ෆේස්බුක් එකේ ඉන්න අවජාතිකයෙකුට ඇටෑක් කලා..... මං ඌට දෙන්ඩ ඉන්නෙ.......

ඉතිං සියාතුවේ.... වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්ඩ එන්නං.... මේ දවස්වල හොඳටම බිසි. පොඩි ස්කොල් එකක් හම්බුනානෙ බං... ඒකට රට යන්ඩ කලිං මේවා එකලාසයක් කරල දාගන්ඩ එපායැ....... මම නවතින්නං. උඹට බුදු සරණයි.
________________________________________

ප/ලි-
වැදගත් දෙයක් අමතක උනා සියාතුවේ. උඹ දන්නවද ජනගහන ජිහාඩෙ? ඒක ටිකක් ගැඹුරු සංකල්පයක්. කොටින්ම මුස්ලිම් කාරයෝ උංගෙ ජාතිය බෝ කරලා තව අවුරුදු ගානකිං මේ රට අල්ලගන්ඩ හදන්නෙ. ඉතිං සියාතුවේ අපිටත් කරන්ඩ තියෙන්නෙ පුලුවන් තරං සිංහල ලමයි හදන එක තමා. මෙහෙ ඉන්න අපි සුලු පිරිසට මේක කරන්ඩ බෑ. රටේ තුනෙන් දෙකක් ඉන්න උඹල තමා මේකට බහින්ඩ ඕනෙ. උඹලගෙ කෙල්ලන්ට කොල්ලන්ට මේවා කියල දීපං. පුලුවන්තරං හදන්ඩ කියපං. ඔය ගංකරේ කෙල්ලො ගාමන්ට් නොගියට, රට නොගියට බඩගින්නෙ මැරෙන්නෑනෙ බං...... උඹේ අඳ කුඹුරු අක්කර බාගෙ තියෙනකං උං ලුණු කැඳ බිබී හරි වදන්ඩ කියපං. අපේ උතුම් ජාතියේ ඉරනම තියෙන්නෙ රටේ තුනෙන් දෙකක් වෙන  උඹලගෙ අතේ තමා.
(සියාතුගේ පින්තූරය ගත්තේ  Sudesh Karunathilake ගේ වෝල් එකෙන්)

Saturday, December 3, 2011

වස්සානයට අත වනලා... ඉමු මග බලන්....


උදේ එකොලහයි විස්සයි. දුරකථනයේ අතහැරුනු ඇමතුම් තුනක්. එකක් චාටර් එකක්. අනික දුක්ගැනවිල්ලක් විය යුතුයි. අනික හිතාගන්න බැහැ. හිතාගන්න බැරි එක ඩයල් කලා.......
"ආ..... කොහොමද?"

හිත හිරිවැටුන ඒ හඬ වසර තුනකට පස්සෙ.  ඇය මගෙන් සමු අරන් වසර හතක්.

"ඕ.... ගෝඩ්.... ඔයා..... ඔයා...?...."
"ඇයි...? මම තමයි.... මොකද බයවුනාද?......."
"ම්...... ?!....?"
"ගෙදරද ඉන්නෙ? ...මම තියන්නම්..."
"ඕ.... හෝව්.. හෝව්.... අවුලක් නෑ.... මොකද හදිස්සියෙ...."
"නෑ ඉතිං.... දැං මෙහෙම කතා කරන එකත් හරිනෑනෙ නේද?... නෝනා.....?.....(හැකර හිනාවක්)"
"එ...හෙම්ම කෙහෙම්මලක් නෑ..... අවුරුදු කීයකින්ද මේ......"
"ඇයි? දැන් නෝනා නැද්ද?"
"නැත්තෙ මොකද?... ඉන්නවා... අවුරුදු කීයකින්ද.........."
"ඔව් ඉතිං.... අපිම කතාකරන්ඩ ඕනෙ.........."
"ඉතිං මට කතා කරන්ඩ නම්බර් එකක් තිබුනයැ......"
"හ්ම්... ඔහොම තමයි ඉස්සරත්......"
"කොහොම....?"
"ආ... හරි හරි... එව්ව දැන් වැඩක් නෑනෙ......."
"ඇයි......?"
"එව්ව දැන් වැඩක් නෑනෙ අයියෙ.... අපි අඩුකුලේනෙ......ඒක නෙමේ..........."
"මගුලක් කතා කරනවා......."
(අනිත් පැත්තෙන් අර හැකර හිනාව)

ඉස්සරත් මේකි මට දමල අනින්නෙ ඕකෙන්. එයාගෙ කුලේට කියන නම මම අදටත් දන්නෑ. මම මොන කුලේද කියලත් හොයන්න තාමත් මට ඕනෙ උනේ නෑ. අපේ සම්බන්ධය ඇසුරෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනෙත් නෑ. නමුත් මහත් වේදනාකාරී සමුගැනීමක් අවසානයේ ඇය මට හොඳින්ම රිද්දන්න පුළුවන් විදිහෙ දෙයක් හොයාගෙන තිබුණා.

"මං ඔයාව දැක්කා සති තුනකට විතර උඩදි.... බස් හෝල්ට් එකේ.... මහත්තයයි... බබයි...ගෙදර ආවද?"

ඒකි දැන් ඉස්සරට වඩා ලස්සනයි. ඇත්තටම කැත ඇති. ඒත් ලස්සනයි.

"හ්ම්.... මාව දැකල අහක බලාගෙන ගියෙ...... "
"ඔයානෙ අහක බලාගත්තෙ..... මහත්තයත් හිටපු හින්දා ... මොකක්හරි එකක් කියලා හිතලා මාත් පාඩුවේ ගියා....."
"පිස්සු..... කුමාර තමයි ඔයාව මට පෙන්නුවෙත්.......!

මේකි ඉස්සර වගේම බොරු කියනවා. එයාගෙ මහත්තයා මාව දන්නෙවත් නෑ කියල මට ෂුවර්.

"ඇත්තක්මද....?"
"හරි හරි.... ඕවා දැන් කතා කරලවත් වැඩක් නෑනෙ... ඒක නෙමේ අයියෙ....."

මේ කියන්නෙත් බොරුවක් බව ඇයව දන්න මම දන්නවා. ඒ බොරුවලට වගේම සැහැල්ලු කතා ලතාවටත් මම එදත් ගොඩක් ප්‍රිය කලා.....

"අයියෙ..... ඔයාට අර රසිකා හම්බවෙනවද ?"
"මොකා...?"
"රසිකා....? අර මාත් එක්ක වැඩට ගියෙ....? ගේ නං දන්නැ... ඔයාලගෙ පැත්තෙ......."
"ර...සිකා...... රසිකා... මීටර් වෙන්නෑ.... මොනවගේ...."
"ආ... හරි හරි... දන්නැත්තං වැඩක් නෑ... මං තියන්නද?"
"ඉතිං කාරණේ කිව්වද? .. රසිකා........."
"දන්නෑනෙ...? මාවත් අමතක වෙච්චි එකේ රසිකල කොහෙද...?.. තියන්නද?"
"හරි... මං ටිකක් බලන්නං... මොකද්ද කෙරෙන්ඩ ඕනෙ..?"
"නෑ... ටිකක් කතා කරන්ඩ...."
"හදිස්සියක්ද?"
"අයියෝ නෑ... ඒකිට මොනා වෙලාද දන්නෑ.... අවුරුදු ගානකිං........ නිකමට..... මං තියන්නද?"
"හ්ම්... ඕනෙම නං තියන්න.... ඒක නෙමේ... පහුගිය ජූලි විසි වෙනිදට සුබ උපන්දිනයක් හො‍‍ඳේ...."
"අම්මෝ.... (හැකර හිනාව) .. දැන් මාස කීයක් ගිහිංද?"
"හරි ඉතිං.... කතා කරන්ඩ ලැබුනේ අදනේ....."
"හ්ම්.... ඕව දැං වැඩක් නැනෙ අයියේ..... තියන්නං...."
"හ්ම්....!"
"............"
"මේ අයියේ.......?"
"ඇයි?"
"මේ  නම්බර් එකට ගන්ඩ එපා... මේ කුමාරගේ ෆෝන් එක...."
"හ්ම්"
"බුදු සරණයි......"
"හ්ම්...!"

මිනිස් දඩයමක පශ්චාත්තාපය, සුන්දර පියාසැරියක මතක මාත්‍රයන් එක්ක අද දවස ඇය මට තිළීණ කලා. ඇයට කොහොමද දන්නෑ. එකක් සහතිකවම දන්නවා. මම ඇය හා විවාහ වුනානම් මෙලහකටත් අපි දික්කසාද වෙලා. එක්කෝ එහෙම නොවෙන්නත් තිබුණා. ඕන එකක්.

ඕව දැන් වැඩක් නෑනෙ......  :)

අදින් පසු මේ ගීතයත් ඇයව මට සිහිපත් කරාවි.


(කමෙන්ට්ස් වසා ඇත)

Follow by Email