Wednesday, August 31, 2011

අල්ලන්නට ආස ඇති... කඳුළු වලට දෙන්නෙ නැති...


මෙයට වසරකට හමාරකට පෙර මා පදිංචි ප්‍රදේශය ආසන්නයේ අටවා තිබූ වෙසක් තොරණක් බැලීමට ගියා මතකය. ප්‍රාථමික ගණයේ චිත්‍ර කීපයක් වටා වොට් පහේ බල්බ හාර පන්සීයක් දැල්වෙනු නිවෙනු බලා සිටීමට මට කිසිදු අවශ්‍යතාවක් නොවිණි. එහෙත් එවක මගේ දියණියගේ මොන්ටිසෝරි ගජයින් තොරණේ විස්තරය සෙන්ටර්ෆෲට් චුයින්ගමයක් පරිද්දෙන් ඇය අබියස හපමින් සිටි බැවින් මටද විසුමක් නොවීය. අවසානයේ දෙමාපියන්ගේ යුතුකම් පිළිබඳ ඇගේ ආඩපාලියකින්ද පසු තොරණ බැලීමට යාමට මමද හිත හදා ගතිමි.
තොරණේ ජාතකය අද මට මතක නැත. ආලෝක රටා තිබුනේද වත් මතක නැත. එම පන්සල් භූමියේ කුමන පැත්තේ එය අටවා තිබුණේද යන්න ගැන පවා ඇත්තේ සුළු මතකයකි. එහෙත් අදද එක් දෙයක් පමණක් හොඳින්ම මතක ඇත.
වෛයිවාරන්න සෙල්ලම් බඩු පිරි කඩවීදිය.
රාත්‍රී අඳුරු පසුබිමේ දැල්වෙන සිය ගණන් ටංස්ටන් විදුලි බුබුළු. කුඩා අට්ටාල වහල පුරා එල්ලෙන නෙක වර්ණ බැලූන. දුහුවිලි ගඳ. ඝෝෂාකාරී උත්සවශ්‍රීය. විවිධ කැවිලි වලින් නගින සුවඳ. සුදු පොලිතීන් මත පිළිවෙලකට අසුරා ඇති වෛවර්ණ (බාල) චීන සෙල්ලම්බඩු. සෙල්ලම්බඩු වලට පිස්සු වැටුන පොඩි එවුන්.... වෙළෙන්දන් සමඟ හෙට්ටු කරන ගැහැණුන්.....
මෙම කඩවීදිය නැවත කිහිප වරක් සිහිපත්වන්නට තරම් දෙයක් එදින මම කලෙමි. පසුදින ඉතා වැදගත් කටයුත්තකට වෙන්කොට තිබූ සීමිත මුදල් ප්‍රමාණයද අමතක කොට මගේ දියණිය එම කඩ වීදියට මුදා හළෙමි.
"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"
අවසානයේදී බැලූනයක්, කොණ්ඩයට පළඳින යමක් ඇතුළු රුපියල් දෙසිය ගණනක ලට්ට ලොට්ට වගයක් තෝරා ගැනීම මගින්, එම ගණනය නොකල අවදානමෙන් ඇය මා මුදාගත් බව මතකය. එහෙත් විචාර බුද්ධියට පිටුපා එවන් අවදානමක් ඒ මොහොතේ ගැනීම? ප්‍රමාණයෙන් විශාල සහ අඩු වටිනාකමකින් යුත් යමක් රැගෙන දී ඇය පහසුවෙන් තෘප්තිමත් කල හැකිව තිබියදීත්.
පසුකාලීනව බොහෝ වරක් නැවත නැවතද කල්පනා කිරීමෙන් පසු මා එය හඳුනාගත් බව සිතමි.
ඒ මගේ කඩවීදියයි.
මුන්නේෂ්වරම දේවාලය පෙනෙන ඉසව්වේ කොට කලිසමකින් සැරසී පියාගේ ඇඟිල්ලක එල්ලී ගාටන්නේ මමයි. නේක වර්ණ විචිත්‍ර සෙල්ලම්බඩු මාළිගයන් දෙස මහ සෙනඟ අතරින් කෑදරකමින් එබී බලන්නේ මමයි. සෙල්ලම් බඩු වල, නැවුම් මැටි භාණ්ඩ වල තීන්ත සුවඳ මහත් කෑදරකමින් උරා බොන මට, මගේ දෙසවන් වලින් අහගන්නට ඉතාමත් ආශාවූ, එහෙත් කවරදාකවත් අසන්නට නොලැබුණූ එක් වාක්‍යයක් ඇත.
"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"
එකල මුන්නේෂ්වරම් දේවාලයේ මංගල්‍යය පැවැත්වෙන අගෝස්තු මාසය ආසන්න වන විට සෙල්ලම් බඩු සඳහා අවශ්‍ය මුදල් එක්රැස් කිරීම සිදු කරන ලද්දේ මා විසින්ම බව මතක ඇත. මගේ පාසල් මිතුරන් සියළු දෙනාද එසේ කලහ. පහසුම ආදායම් මාර්ගය වූයේ ඉරටු මැදීමයි. බොහෝ විට එමගින් රුපියල් හැට හැත්තෑවක් උපයා ගැනීමට අපි සමත් වීමු. ඉලක්කය වූයේ කලින් වසරේදී ප්‍රදර්ශනය වූ හොඳම සෙල්ලම් බඩුව මෙවර මිලදී ගැනීමයි. වරෙක එය කුඩා ඩොල්කියක් විය. නැතිනම් දුර බලන කණ්නාඩියකි. වරෙක තහඩු වලින් සෑදූ තරමක් විශාල බසයකි. එහෙත් මේ කිසිවක් කවරදාකවත් මා සතු නොවීය. හැම වසරකදීම මෙම බඩු එකට එකක් ගණන් ගොස් තිබීම එයට හේතුවයි. කිසිදා මේවා පියාගෙන් ඉල්ලූ බවක්ද මතක නැත. ඉල්ලුවාට ලැබෙන්නේද නැත. පියා සහ මවගේ ඉලක්කය වූයේ කාලි මෑණියන්ට වාර්ෂිකව බාර හාර වූ පූජා වට්ටිය මිලදී ගැනීම, කැවිලි කීපයක් සහ මුළුතැන්ගෙයි යමක් මිලදී ගැනීම පමණකි. ඉන් එහා වත්කමක් ඔවුනට නොවූ බව මම හොඳින් දැන සිටියෙමි. හැමදාමත් ලාබ නළාවක්, පුංචි ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක් සහ ගඩුගුඩා මල්ලක්ද රැගෙන මෙම මනස්කාන්ත ලෝකයෙන් මිදී නිවසට පිය නැගීමට මට සිදුවිය. එහෙත් ඒ විචිත්‍ර දසුන ඊළඟ වසර මා ජීවත් කලේය. නැවුම් තීන්ත සුවඳ වසර පුරා වින්දෙමි. කදිම සෙල්ලම් බඩු සමඟ මනසින් සෙල්ලම් කලෙමි. ඊළඟ වසරේදී අර වැකිය කවුරුන් හෝ කියනු ඇතැයි තදින්ම විශ්වාස කළෙමි.
"ඔයාට ඕනෙම දෙයක් ගන්ඩ........"
------------------------------------
අවසානයේදී මගේ දියණියට මා විසින් එම වරය දුනිමි. ඒ අවිඥාණිකව යම් සහනයක් උදෙසා විය හැකිය. එහෙත් මට දැන් වඩාත් වැඩි වේදනාවක් දැනේ. තම ඇඟිල්ලේ එල්ලී මහත් කෑදරකමින් සෙල්ලම්බඩු දෙස බලන තම කොළු ගැටයා පිළිබඳව මගේ පියාගේ හද තුළ කැකෑරුණු වේදනාව මටද දැන් වැටහෙන්නට පටන් ගෙන ඇත. මා ද දැන් පියෙක්මි.
අසන සෑම වරකදීම සැබෑවටම මා නෙත් කෙවෙණි තෙත්වන ගීත තුනක් තිබේ. මේ ඉන් එකකි. 




Thursday, August 18, 2011

ග්‍රීස් යකෙක් ඇල්ලුවෙමු.....!

ඇත්තටම මේ වගේ ඕපාදූපයක් ලිව්වට කවුරුවත් කියවන්නෙ නැතිවෙයි. ඒත් මේ ග්‍රීස් යකා සීසන් එක ඉවර වෙන්ඩ කලින් මේක ලිව්වෙ නැත්තං මේ කතන්දරේ වැඩක් නැති වෙනවා.

ඇත්තම කියනවනං අපි ග්‍රීස් යකෙක් ඇල්ලුවා. හැට හැත්තෑවක විතර පිරිසක් ග්‍රීස් යකා හෙව්වත් අපි දෙන්නට තමා අහුවුනේ. අපි කිව්වෙ මමයි ප්‍රේමෙ අයියයි. ප්‍රේමෙ අයියා උගෙ බෙල්ලෙන් ඇල්ලුවා. මම අතින් ඇල්ලුවා. දැනට අවුරුදු තුනකට විතර උඩදී.

මතක විදිහට අයි.ටී.එන්. නිව්ස් වල ක්‍රීඩා පුවත් යන වෙලාව. ගේ ඉස්සරහා බරාස් ගාල බයිසිකලයක් බ්‍රේක් කලා. ඒකෙ ඉඳං කෑ ගැහුවේ ප්‍රේමෙ අයියා.

"මලේ..... ටක් ගාල ටෝච් එකත් අරං වරෙංකො.... අරහෙ ග්‍රීස් යකෙක් ඇවිල්ලලු.... ගුණසීලි නැන්දලයෙ අහ......"

මම පුටුවෙන් පැන්නෙ බයිසිකලේට.

"මට විපුලය දැං කෝල් එක දුන්නේ......"

කටින් හති දාන ගමන් ප්‍රේමෙ අයියා කියනවා. විනාඩි හතරකින් අපි ග්‍රීස් යකාගෙ ඉසව්වෙ.

ගුණසීලි නැන්දා ප්‍රේමෙ අයියගෙ තාත්තගෙ පැත්තෙ ඥාතියෙක්. උන්දැගෙ මනුස්සයා කොහෙද මන්දා කොහුමෝලක වැඩ. හම්බකරන එක එදාම බීල මිනිහා එහෙටම වෙලා ඉන්නවා. ගෙදර උන්නෙ ගුණසීලිගෙ දුවෙක් වන දේවිකායි, රට ගිහින් ඉන්න ලොකු දුවගෙ ඇරිච්ච දීගෙ දරුවො දෙන්නයි. හැමදේටම බලන්න හදන්න හිටියේ ප්‍රේමෙ අයියා තමයි.

අපි යනකොටත් තිහ හතළිහක විතර සේනාවක් ඇවිත්. බයිසිකලෙන් බැස්ස ගමන් මං කලේ එරඬු පොල්ලක් කඩාගන්න එක. කියන්ඩ බෑනෙ මූ කොච්චර දරුණුද කියලා. දේවිකා ලිඳ ලඟ කළුවරේම ඇඟ හෝද හෝද ඉඳල තියෙන්නෙ. කෙල්ල පරක්කු මොකද බලන්ඩ ගුණසීලි නැන්දා ඇහැ දානකොට තමයි කළුපාට හේයාවක් රට දෙහි පඳුරට එහායින් ඉන්නවා දැකලා තියෙන්නෙ. නැන්දගෙ හූවට බයවෙච්චි පාර තමා දේවිකා බෙරිහන් දීල තියෙන්නේ...... ඒත් වැඩිදෙනෙකුට ඇහිලා තිබුනේ දේවිකාගෙ හූව.

නැන්දා කිව්ව විදිහට මූ අමු නිරිවස්තරෙන් ඉඳලා තියෙන්නෙ. දෙල් ගහ යටින් පැනලා පාර පැත්තට දුවලා..... කාගෙත් අදහස උනේ ඌ තාමත් ඒ අක්කර දෙකක විතර ඉඩම ඇතුලේ ඉන්නවා කියන එක. මොකද ඉඩමේ දෙපැත්තකින්ම පාරවල්. කපිලයලගෙ නිදහස් බේබදු සමාජයෙ සෙට් එක ඉඳලා තියෙන්නෙ තුන්මං හන්දියෙ. පාර පැත්තට ආවත් පාරෙන්නං පැන්නෙ නෑ කියලා උං දහ අතේ දිවුරනවා. අපි යනකොටත් මුං පාරවල් දෙකට සාමාජිකයෝ දෙන්නා ගානෙ දාලා. යකා පාරට පනිනවද කියලා බලන්න.

ප්‍රේමෙ අයියත් පොල් පිත්තක් අතට ගත්තා. දැන් ගෑණු පිරිමි බේදයක් නැතිව කට්ටිය තවත් වැඩි වෙනවා. හැමෝම අතේ පොලු. එක කටුපිල පඳුර අස්සෙ දහ පාලොස් දෙනා ටෝච් ගහල බලනවා. තව පිරිසක් ගස් උඩ බලනවා. ග්‍රීස් යක්කු සාමාන්‍යයෙං කරන්නෙ කට්ටිය එද්දි ගහකට නගින එකලු. ඔය අතරෙ තමා කපිලය අපි ළඟට ආවෙ.

"ප්‍රේමෙ අයියා.... ඔය වගේ පාහර බල්ලො තුන්දෙනයි ගමටම ඉන්නෙ.... අපි ගිහිං උං ගෙවල්වල ඉන්නවද බලලා එන්නං...."

හා කියන්ඩත් කලිං උං තුන්දෙනෙක් කැලිබර් බයික් එකක නැගලා රුං ගාල ගියා.

අපිත් ටිකක් හෙව්වා. මොන මල යකෙක්වත් නෑ.

"මලේ වරෙංකො අර පැත්ත ටිකක් බලන්ඩ...... අපේ නැන්දටත් උන්හිටි ගමං උතුර දකුණ මාරුවෙනවනෙ බං..... මෙහාටවත් පැන්නද බලන්ඩ......."

අපි යන කොටත් කීප දෙනෙක් ඒ පැත්තත් විපරම් කොරලා තිබුණා. ඒත් වැඩි දෙනෙක් බැලුවේ ඌ දුවපු පැත්ත. ටික දුරක් සෝදිසියෙන් ගිය ප්‍රේමෙ අයිය ඉද්ද ගැහුවා වගේ නැවතුනා. ඊට පස්සෙ එක පාරටම ටෝච් එක හැරෙව්වෙ ළඟ තිබුණු කැප්පෙටියා ගාලට.

මෙන්න යකා තුන්කුදු ගැහිලා බිම ගුලිවෙලා ඉන්නවා.

මගෙ හිතේ තිබුණු ගැස්ම නං එකපාරම නැති උනා. මූට බය හිතෙන්නෙ කාටද? ඌ ඔලුව පොඩ්ඩක් උස්සලා යාන්තමට ඇස් ඇරලා ටෝච් එක දිහා බැලුවා.

"සමනා........?!?"

ප්‍රේමෙ අයියා ටෝච් එක නිවුවා.

"තෝ මොන හු******........................................"

ඌ ඇඳල හිටියේ කොට කලිසමක් විතරයි. ටී ෂර්ට් එක අතේ ගුලි වෙලා. ඌ හරි. සුදුපාට ඉරි දෙකක් තිබුණ ඒක ඇඳං උන්නනං ඌ මෙලහකටත් ගමකට කාල.

"හ්ම්.... වර එළියට......."

ප්‍රේමෙ අයියා කිව්වෙ රහසින් වගේ. කොහොමත් වත්තෙ තිබුණු ගාලගෝට්ටියට හයියෙන් කිව්වත් කාටවත් ඇහෙන්නෙ නෑ. ඌ එන්නෙ නැති තැන ප්‍රේමෙ අයියා ගොල්ලට රිංගලා ඌව බෙල්ලෙන් අල්ලලා එළියට තල්ලු කලා. කළුවරේ උනත් මූ තෙලියා වගේ ගැහෙනවා කියලා මට තේරුණ හින්දා මම අතකින් අල්ල ගත්තා.

"ඕක ඇඳගනින්........"

ටී ෂර්ට් එකේ පැටළුම් ඇරලා කළුවරේම ඒකෙ අත්දෙක ඌට හොයලා දුන්නෙත් මම මයි.

"හ්ම්හ්...... ගනිං ඔය පොලු කෑල්ලක්......."

අපරාදෙ කියන්ඩ බෑ. ඊළඟ විනාඩි තිහ හතළිහේ සමනා පුදුම කැපවීමකින් ග්‍රීස් යකාව හෙව්වා. ඔය ගස් උඩ විපරම් කරන්ඩ කීප දෙනෙකුටම උදව් කලා. ප්‍රේමෙ අයියනං අපිට හොයාගන්ඩ දීල ගිහිං බුලත් විටක් කන්ඩ ගත්තා. අපි දෙන්නා දිගටම හෙව්වා. අන්තිමේදි යකා නැති තැන නැන්දලගෙ මිදුලෙම තිහ හතළිහක් එකතුවෙලා පශ්චාත් විමර්ශණෙත් තිබ්බා. සමනා දිහා සැරින් සැරේ බලන දේවිකාගෙ මූණෙ තිබ්බ කොම්බු ඇලපිළි කවුරු නැතත් මම නං කියෝ ගත්තා.

හොඳම වැඩේ මේකයි. මම සමනත් එක්ක යකාව හෙව්වෙ ඌව බේරගන්න ඕනෙ හින්දා තමා. ඒත් ටික වෙලාවක් හොයාගෙන හොයාගෙන යනකොට මටම තේරුණා මං සිරාවටම මොකක් හරි හොයනවා කියලා. ඇත්තටම මම සමනා එක්කත් යකාව හෙව්වා.

දැං අහන්ඩ එපා සමනා ග්‍රීස් ගාගෙනද උන්නෙ කියලා. වැලිතලප වල වැලි නෑ වගේම ග්‍රීස් යක්කුන්ගෙත් ග්‍රීස් නෑ.

Follow by Email