Saturday, May 21, 2011

සියළු 'ජයග්‍රාහී අනුරුද්ධ ප්‍රදීප්' ලා වෙතයි....

නිර්මාල් රංජිත් දේවසිරි නමැති දේශ ද්‍රෝහියා කුජීතම වූ, අන්තිම-අපක්ෂපාතී දෙරණ වාදපිටියෙන් උපුටා ගත්තකි.

කුජීත නිර්මාල් - දැං ඕනෑම යුද්ධයකට පස්සේ..... එන ප්‍රශ්නයක් තමයි... ඒ..... දැං මෙතන ප්‍රශ්නයක් තියෙනවා.. දකුණේ පාලනයට ඒ ජනයා මත තමන්ගේ ආධිපත්‍යය කැවත තහවුරු කර ගන්නේ කොහොමද කියන එක.....

ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද..?

කුජීත නිර්මාල් - ඈහ්.....?

ජයග්‍රාහී අනුරුද්ධ - මොකටද?

කුජීත නිර්මාල් - නැත්තං ඉතිං මේ රාජ්‍යය පවත්වගෙන යන්ඩ.....?

ජයග්‍රාහී අනුරුද්ධ - මුකුත් කරන්න ඕනෙ නෑ.... රාජ්‍යය පවත්වගෙන යන්න පුළුවන් ඕනෙනම්...... ඔය විදුලි බලය දෙන්න ඕනෙ නෑ රාජ්‍යය පවත්වගන්න.... අපි දිනලා ඉවරයි......!!!

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

"අපි දිනලා ඉවරයි......."

සියළු අනුරුද්ධ ප්‍රදීප්ලා ජයග්‍රහණය කොට අවසන්ය. මේ කාහල නාදය ඒ වෙනුවෙනි. පරාජය කොට ඇත්තේ ගමේ ගොඩේ six-a-side ටෙනිස් බෝල කල්ලියක් නොවේ. අති බිහිසුණු ත්‍රස්තවාදී කල්ලියකි. පරාජය කලේ ටෙනිස් බෝලයකින් වැටමාර කඩුළු බිඳ දැමීමෙන්ද නොවේ. දස දහසකටත් එහා පණ ඇති මිනිසුන්ගේ ඔළු කටු කුඩුවෙන්නට වෙඩිතැබීමෙනි. ජයග්‍රහණය කොට අවසන්වද්දී ඉතිරිවූයේ තණකොල පොඩිවූ, දූවිලි ගහන හිස් පිට්ටනියක් නොවේ. ලෙයින් තෙත්වූ අමු මස් දැවෙන පුළුටු ගඳ වසාගත් සොහොන් පිටියකි. මේ පුළුටු ගඳින් ආනන්දයට පත් අනුරුද්ධ ප්‍රදීප් නමැති පොඩි එකෙක් එම අමු සොහොනෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි වායු සමනය කල කුටියක හිඳ මෙසේ මොර දෙයි.

"(පැරදුනු උන්ට) මොකට රාජ්‍යය පවත්වාගෙන යන්නද? අපි දිනලා ඉවරයි.........!"

ඉදිරිපස සිට කුළුණුබර දෑසින් යුතුව ඔහු දෙස ආඩම්බරයෙන් බලාසිටින්නේ නලින් ද සිල්වා පියාණන්ය. පසෙක සිට නිරාමිස ප්‍රීතියට පත්ව මදහස නගන්නේ අරහත් ධජය දරාගත් භික්ෂුවකි. මේ උදාන වාක්‍යයෙන් හොල්මන් වෙන ඉතුරු එකා නමගිය දේශද්‍රෝහියෙකි.

අපුලක් සිතන්නට දෙයක් නැත. මේ මිනී මරාගන්නා ක්‍රීඩාවේ දේශීය නීති රීති වල ස්වභාවයයි. ක්‍රීඩාවෙන් අනතුරුවද ජීවත්ව සිටින පැරදුනු එවුන්ද, මියගිය උන්ට සමානය. අපේ අනුකම්පාවට දෙන දෙයක් කාල කියන විදිහකට ඉන්න එක උන්ගේ ඉරණමයි.

"උන්ට මොන රාජ්‍යද....?"

සියළු ජයග්‍රාහකයිනි,

'මිනිසෙකු විනාශ කල හැකිය - එහෙත් පරාජය කල නොහැකිය' යනුවෙන් හෙමිංවේ ලොක්කා ලියා ඇති වගක් ඔබට මතකද? කලබල වන්න එපා. වික්‍රමබාහු ද්‍රෝහියා එය පිළිගත්තත් මා එය පිළිගන්නේ නැත. ඔබගේ අති උතුම් මහාවංශයට අනුවම යමින්, මිනිසෙකු විනාශ කොට පරාජයද කල හැකි බැව් මා අදහමි.

මහාවංශයේ විසි පස්වන පරිච්ඡේදයේදී දුටුගැමුණු නමැත්තෙක්, එළාල නමැත්තෙකුව තෝමරයෙන් පහරදී විනාශ කරන්නේය. අනතුරුව එම දේහයට සියළු ගෞරවාචාර පවත්වා, ඔහු මළ තැන සෑයක් කරවා, සියළු රටවැසියන් හට එයට ගෞරව කරන ලෙසට නීතිද පණවා එළාල නමැත්තා සහමුලින්ම පරාජයද කොට දමන්නේය.

නුඹලාට මේවා ඇත්තටම නොතේරෙනවාදැයි නොදනිමි. එහෙත් කජුකිරි වියේ සිට දේශපාලනයෙන් තෙම්පරාදු වූ මහින්ද රාජපක්ෂ, නුඹලාට වඩා පරිණත මිනිසෙක් යයි මා තවමත් විශ්වාස කරමි. (අවම වශයෙන් පවත්නා ජාත්‍යන්තර තත්වයන් මත ඔහුට වඩාත් පරිණත ලෙස ක්‍රියා කිරීමට සිදුවනු ඇත)

තවත් කෙටි කලකින්ම ඇරඹීමට නියමිත නාථ දෙවියන්ද පෙරටු කොට ගත් දැවැන්ත විරෝධතා පෙළපාලි වලට පෙරාතුව, තවත් වටයක් දිය කෙළින්නට එතෙක් ඔබට අවකාශ ඇත.

රා....යිට්....!! නංගිලා.. මල්ලිලා... හැමෝම.. අත් උඩඩඩඩට උස්සලා.... තව පාරක් හයි.....යෙං කියමු බලන්ඩ.............

Sunday, May 1, 2011

මගේ ජිබ්බා - විමල්ගේ මූන්.....

මා කුඩා කල මගේ මව හා පියා සමඟ වසර කීපයක් මිනිස් වාසය ඉතා අඩු පෙදෙසක ජීවත් වූවා මතකය. තරමක් දුර ගෙවා ගිය පාසලේ මිතුරන් කිහිප දෙනෙකු හැරෙන්නට වෙනත් කිසිදු මා වයසේ මිතුරෙකු හෝ සහෝදර සහෝදරියක මා හට නොවී.

එබැවින්දෝ මා එකල මිතුරෙකු තනාගෙන සිටියෙමි. හේ අජීවීය. නම 'ජිබ්බා' ය. එය අඟල් අට දහය පමණ ප්‍රමාණයේ සැහැල්ලු පිටපළු කැබැල්ලකි.

බෝනික්කෙකු හෝ සුරතල් සතෙකු වෙනුවට පිටපළු කැබැල්ලක් මගේ මිතුරා කරගත්තේ ඇයිදැයි අදද මා හට නිශ්චිත අදහසක් නැත. නමුත් එම පිටපළු කැබැල්ලට විවිධ හැඟීම් කැවීමට මා හට හැකියාව තිබිණි. 'ජිබ්බා' ගේ මුහුණ එහි සමතල පැත්තේ මා විසින් පාට කූරකින් අඳින ලද්දකි. එය දිනකට කිහිප වතාවක් වෙනස් වේ. රාත්‍රීයේදී ඇස් පියවීමට මා අමතක නොකළෙමි. පාසලේ ගත කරන කාලය හැරුණු විට අන් සියළු වෙලාවන්හිදීම 'ජිබ්බා' මා අසල විය. මා බාලාංශයේ සිට පළමු ශ්‍රේණියට සමත් වන විට 'ජිබ්බා' ද සමත් විය. ඒ මට තරම්ම දැනුමක් 'ජිබ්බා' ටද තිබූ බැවිනි.

බොහෝ දිනයන් හිදී, නින්දට ප්‍රථම මගේ කොට්ටය අසල නිදන 'ජිබ්බා' ගේ පොරෝණය සකසා ඌ මතින් අතක් දමා කුප්පි ලාම්පුව අසල මානන හූණන් ගණන් කරමින් නිදිසුව වැළඳගත් ඒ සුන්දර රාත්‍රීන් දැනුදු සිහිපත් කරන්නේ ගැඹුරු සුසුමක් සමඟිනි.

මෙවර 'ජිබ්බා' මතක් වූයේ මෙම ඡායාරූපය දැකීමෙනි. ඇත්ත සතුන් සමඟ ගණුදෙනු කිරීමට වඩා, තමාට අවශ්‍ය පරිදි සතෙක් හදාගෙන ගණුදෙනු කිරීම කෙතරම් පහසුද? කොහොමටත් ඊනියා දේශප්‍රේමයක් ගැන ‍බෙල්ලේ නහරවැල් උලුප්පාගෙන බෙරිහන් දෙන විමල්ට වඩා, මේ පඹයන් සුරතල් කරන විමල්ට මා කැමතිය. ඒ මගේ සුන්දර ළමා විය සිහිපත් කරවන බැවිනි.

ඡායාරූපය උපුටා ගැනීම - Lanka C News