Tuesday, October 26, 2010

නෝනට තියෙන ප්‍රශ්න....

පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ලෙස මා ඉත සිතින් අදහමි. එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්කල සැප්තැම්බර් 08 වෙනිදා මා විසින් මෙම බ්ලොගය කට්ට කළු කර මගේ අත්‍යන්ත විරෝධයද පළකලෙමි. මා විසින් ගත් එම පියවරෙන් රජය යම් අපහසුතාවකට පත්වූ බවද පැහැදිළිවම පෙනෙන්නට තිබූ අතර ව්‍යවස්ථාව සම්මත වූ දිනට පසුදා කෙහෙළිය රඹුක්වැල්ල ගරු ඇමතිතුමා හට, නව ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බවට විශේෂ ප්‍රකාශයක්ද මාධ්‍ය හමුවේ කිරීමට සිදුවිය. රූපවාහිනී නාලිකා ඔස්සේද විකාශය වූ එම ප්‍රකාශයේ කොටසක දේශද්‍රෝහී කඩාකප්පල්කාරීන් යන අන්වර්ථ නාමයෙන් එතුමා විසින් හඳුන්වන ලද්දේ මාවය. (මෙය අප දෙදෙනාගේ පුද්ගලික කෝන්තරයක් නොවන අතර, එය දේශපාලන පසමිතුරුතාවය නම් දේශපාලනික අර්ථයෙන් සලකන මෙන් ඉල්ලමි).

ඇත්තෙන්ම පසුගිය දිනවල මා හට පැවති විශාල ගැටළුවක් වූයේ 18 වන සංශෝධනයට එරෙහිව අප ගෙනගිය අරගලයේ ගමන් සගයන් වූ ප්‍රගතිශීලීන් බහුතරයක්, මේ වන විට 18 ක් සම්මත නොවූ ලෙස කටයුතු කරමින් සිටීමයි. කොටින්ම බොහෝ දෙනෙකුට යන්තම් මීට මාස එකහමාරකට කට පෙර සිදුවූ මෙම ඛේදවාචකය සහමුලින්ම අමතක වී ඇති බව පෙනීයාම සිත් වේදනා උපදවන්නකි.

අතිගරු ජනාධිපතිතුමා විසින් වරක් ප්‍රකාශ කල අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වැදගත් යන ප්‍රකාශයට අනුව, මා විසින් මෙම අරගලය තනිවම හෝ ඉදිරියට ගෙනයාමට අදිටන් කර ගත්තේ එබැවිනි. ඇත්තෙන්ම මෙවන් දැවැන්ත ව්‍යාපාරයක් තනිවම ගෙනයාම අසීරු හෙයින් අවම වශයෙන් මගේ සමීපතමයා වන බිරිඳගේ හෝ සහයෝගය ලබාගැනීම සඳහා පසුගිය දිනෙක ඈ ඇමතීමි.

මේ...... 18 වෙනි සංශෝදනේ......?

මොකක්?

ඇයි අර පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට ගෙනාවෙ....? 18..?

ඉතිං...?

ඒක ගැන විරුද්ද උනු කවුරුවත් දැං මීක් කියන්නෙ නෑ.... රනිල්ලා...... තිස්ස අත්තනායකලා ඒ කාලේ......

අනේ.... මේ...., අද තිස්ස මාමලගේ සීට්ටු සල්ලි දෙන්ඩ ඕනෙ.... මොකද කරන්නෙ...?

ඇය සිහිපත් කලේ අතේ රුපියල් විස්සක්වත් නොතිබූ මා හවස් වීමට ප්‍රථම එක්දාස් පන්සීයක ලෝන් එකක් ගැසිය යුතු බවයි.

නැවත එදින රාත්‍රියේද මා විසින් ඇයට මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කලෙමි.

ඒ දවස්වල උනත් ජේ.වී.පි එක ඇරුණාම ඕක ගැන දැනෙන්ඩ කතා කලේ සිවිල් බුද්ධිමතුන් ටිකක් විතරයි. දැං මතකද දයාසිරි කිව්වා උපවාසයක්ද මොකද්ද කරනවා කියලා.......?

මේ... ඔයා හිතන්නෙ දයාසිරි එයිද....... පබා එයිද.......?

එය මෙගා ස්ටාර් සංවාදයක් බවට පත්වූ අතර පැහැදිලි කිරීම පසුදාට කල්තැබීමි.

පසුදින උදෑසන මා විසින් ඇයව දැනුවත් කිරීම සඳහා රසවත් උදාහරණ කිහිපයක් යොදාගැනීමට තීරණය කලෙමි.

දැං බලන්ඩ...... ඔය ඒකාධිපති බලතල පාවිච්චි කරලා දැනටමත් කොළඹ මුඩුක්කු ගෙවල්වල ඉන්න මිනිස්සු........

මේ.... ඒක නෙමේ. ගෙයි වහලෙ ගහන්නැද්ද? උළුවහු ජනෙල් ටිකත් දිරලා ගිහින්...... හැමදාම මේකෙ ගුලිවෙලා.........

ඇත්තෙන්ම ඒ සෑම විටකදීම සිදුවූයේ මගේ අවශ්‍යතාවය පරයන ඇගේ වෙනත් අවශ්‍යතාවක් පෙරට පැමිණීමයි. රන් මාලයේ උකස බේරා ගැනීම, දරුවාට ඇන්කර් පීඩියා ප්‍රෝ දීමේ වැදගත්කම, තෑගි ලෙස ලැබුනු සාරියට හැට්ටයක් මැසීම, සහල් මිල එකවර ඉහලයාම, කවුරුන් හෝ නිවස අසල දමාගොස් සිටි පූස් පැටවුන් තිදෙනාගේ කරදරය, ඇගේ දකුණු අත හිරිවැටීමේ රෝගය, විදුලිය කැපීමට පෙර රතු බිල ගෙවා දැමීම වැනි බොහෝ දෑ ඒවා අතර විය. ඒවා සියල්ල ඇගේ ප්‍රමුඛ අවශ්‍යතා බව මගේද පිළිගැනීමයි.

ඇගේ අවශ්‍යතා පසෙක ලා මගේ අවශ්‍යතාව වෙනුවෙන් පැමිණෙන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් මට කල නොහැකිය. එමෙන්ම ඇගේ සහයෝගය බලහත්කාරයෙන් ලබාගැනීමද දේශපාලන සදාචාරයට පටහැණි කටයුත්තකි. ඒ අනුව සිදුකල යුත්තේ පළමුව ඇගේ ප්‍රමුඛ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කිරීමයි.

ඊයේ රාත්‍රියේදී අප දෙදෙනා විසින් බොහෝ වෙහෙස වී ඇගේ අවශ්‍යතා ප්‍රමුඛතා ගත කොට ලැයිස්තුවක් සකස් කළෙමු. එම ලැයිස්තුවට අනුව 18 වන සංශෝධනයට එරෙහි වීම ඇත්තේ 637 වෙනියටය. ඒ අනුව ඊට ප්‍රථමයෙන් ඇති ප්‍රමුඛ අවශ්‍යතා 636 කඩිනමින් සම්පූර්ණ කිරීම මා විසින් දැනටමත් අරඹා ඇත. එම කටයුත්ත අවසන් වූ සැණින්, ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මමත්, මගේ බිරිඳත් නව ජවයකින් පෙරට ඒමට නියමිත බව මෙම ඒකාධිපති ආණ්ඩුවටද, සියළු ප්‍රගතිශීලී ජනයාටද, මෙයින් දන්වා සිටිමි.

Thursday, October 21, 2010

අප්සරාගෙ විස්තරේ...

මෙම බ්ලොගයේ මා විසින් මෙයට පෙර ගැහැණු උදවිය පිළිබඳව එතරම් අභිරුචියකින් ලියා නැත. එයට හේතුව මගේ බිරිඳ නොවන බව මා කිව යුතුය. ඇය මා ලියන දේවල් කියවීමට එතරම් රුචි නොවන හෙයින් මෙහි කුමක් ලීවද ඇගෙන් ගැටළුවක් පැන නොනගින බව දනිමි. එයට ඇත්ත හේතුව නම් ඊයේ වන තුරුම ඇය මට මුණ නොගැසීමයි.

දෙයියම්පා ඊයේ තමයි දවස. ජීවිතයේ පළමු වතාවට ඇය මට හමුවුනේ. මෙහෙම.... මූණට මූණ. මොහොතකට මුළු බසාර් වීදියම කළු කුහරයක් උනා. ඒ තුළින් මා ඉදිරියට එන ඇය....! මට පිස්සු නොහැදුන ටික විතරයි. ඇය මා පසුකර ගිය ආසන්නතම ලක්ෂ්‍යයේදී අපි අතර පරතරය අඩි දෙකහමාරකටත් වඩා අඩුවෙන් පැවතුනේ. ඇගේ ලැවෙන්ඩර් සුවඳ පවා මට හොඳින් දැනුනා. පියකරු මුහුණ... සියුමැලි කන්පෙති...... කොණ්ඩ කටුවක් තුළින් පිට මැදට පිළීවෙලකට ගලා හැළුන කොණ්ඩය.... ලා කොලපාට ගවුම..... ආත්ම දහස් ගනනක් පුරා මම සොයමින් සිටියේ ඇයවයි.

ඇගේ නම අප්සරා.

අප්සරා කැමතිනම් මම හෙට උනත් බඳින්න කැමතියි. ඒත් එයා එහෙම ආවට ගියාට වැඩකරන කෙනෙක් නෙමේ. එයා මොන තීරණයක් ගත්තත් ඒක බොහොම සියුම්ව කල්පනා කරලා වගකීමෙන් තමයි ගන්නෙ. බඳින්න කලින් එයාගෙ දෙමාපියන් එක්ක මම කතාකරන්න ඕනෙ කියලා තමයි එයා හිතන්නෙ. එයාගෙ දෙමාපියනුත් මට කැමතියි. ඒත් ඉතිං තව වැඩ කොච්චර තියෙනවද?

ගෙදරදි උනත් අප්සරා මට කරදර කරන්නෙ බොහොම අඩුවෙන්. මට අල්ලන්නෙම නැත්තෙ ඉවරයක් නැති අස්පස් කිරිල්ල. මගේ ලියන මේසෙ උනත් මම කොච්චර හැඩි කරල දැම්මත් වැඩිම උනොත් විනාඩි පහයි. සමහර වෙලාවට මට ඕනෙකරන ලියකියවිලි උනත් එහෙ මෙහෙ වෙලා. හැබැයි අහන පරක්කුවෙන් හොයලා දෙනවා. හොඳ මතකයක් තියෙන්නෙ.

එයා කැමතිම නන්දා මාලනීට. දීපිකා ප්‍රියදර්ශනීගෙ සින්දුත් අහනවා. දැන්නං ටික ටික යානි ගෙ මියුසික් එහෙමත් අහනවා. මම නිතර ඕවා අහනකොට රහ වැටිලා. හැබැයි සතියකට දෙකකට පාරක් වත් හොද ෆිල්ම් එකක් නම් බලන්ඩම ඕනෙ. හැබැයි ඉංග්ලිෂ් ෆිල්ම් වල නං එයාට බැලෙන්නෙ තුන්කාලයි. ඔය අනං මනං කෑලි යනකොට අහක බලාගෙනනේ ඉන්නෙ. වැඩක් නැති වෙලාවට කරන්නෙ පොතක් කියවන එක. අටවක පුත්තු කියවලා මාත් එක්ක සෑහෙන්න වාද කලා. හැබැයි අන්තිමට තේරුම් ගත්තා මගේ අදහස් හරි කියලා.

එයාට ඉස්සර කොම්පියුටර් එච්චර බැරි උනාට දැන් හොදට පුළුවන්. මේ බ්ලොග් එක උනත් කීප පාරක්ම ටයිප් කරලා දුන්නා. එක පාරක් බේරෙන්ඩ බැරිම තැන එයාගෙ කතාවකුත් දාන්ඩ උනා. එච්චර කමෙන්ට්ස් නං ආවෙ නෑ. නෙට් එකේ උනත් කියවන එකමයි කරන්නෙ. සිංහල බ්ලොග්ස් තමා වැඩිපුරම. ඔය සොඳුරු සිත, මන්දාකිණී, සංසාරේ අපි, සුළඟ...... වගේ ඒවා. ඉඳහිටලා බියෝන්ඩ් ෆ්‍රේම්, ඇට මැස්සා, W3 ලංකා වගේ ඒවත් බලනවා. ටැබූ ගෙ ඒවට කැමති නෑ කුණුහරුප තියෙනවා කියලා. ෆේස්බුක් යන්නෙම නෑ. මොකද මන්දා.

එයාගෙ තාත්තා උපන්ගෙයි යූ.ඇන්.පී. කාරයා උනාට දැන් ටිකක් නිදහස්ව හිතනවා. ගියපාර නං එයයි තාත්තයි දෙන්නම ඡන්දෙ දීල තියෙන්නෙ මහින්දට. හැබැයි එයා දැං ඉන්නෙ තරමක් කලකිරීමෙන්. මොකද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තැන් තැන් වල කතා නොකලට එයා තනියම ඕවා හිතනවා. ලබන පාර අපි ඡන්දෙ දෙන්නෙ සෑහෙන්ඩ කල්පනා කරලා.

එයා විලාසිතා වලට එච්චර කැමති නැති එක තමා ප්‍රශ්ණෙ. කොහෙහරි ගියත් චාමෙට මොනවා හරි ඇඳගෙන යන්න තමා බලන්නෙ. ලිප්ස්ටික් ටිකක් උනත් මංම බලකෙරුවොත් තමා. හැබැයි වෙඩින් වලට වගේ නම් ජයට ඇඳලා යනවා. සාරියට මාර ලස්සනයි. ඒ ගියත් ඉතිං මගේ අතේ එල්ලිලාම තමා. ගෙදරදිත් ඉතින් එල්ලිච්ච ගමන්මනේ.

කොහොම උනත් එයා මගේ දෙමාපියන්ට, එයාගෙ දෙමාපියන්ට වගේම සලකන එක නං මට මාර සහනයක්. ඒ දෙන්නත් එයාට හරිම ආදරෙයි. එයා ගෙදර වැඩවලට මෙච්චර මහන්සි වෙන එක ගැන වෙලාවකට මට දුකයි. කොහෙද? කොච්චර කිව්වත් අඩුගානේ මට තේ එකක්වත් හදාගන්ඩ දෙන එකක්යැ.

ඉතිං මං මෙහෙම හිතාගෙන ඉන්නවා. අප්සරා මට හම්බවෙච්ච වෙලාවෙ එයාගෙ අනිත් පැත්තෙන් ගියපු වඳුරු මොටා වගේ එකාට, අප්සරා කැමතිනම් මාසෙකට පාරක් අපේ ගෙදර ඇවිත් යන්ඩ දෙනවා. අර එයාගෙ අතේ එල්ලිලා ගියපු කොලුකුරුට්ටා, තැනක පිළීවෙලකට ඉන්ඩ දන්න එකෙක් නං විතරක් අපේ ගෙදර ඉස්සරහා කාමරේ දෙන්ඩ පුළුවන්. මොකද මං කැමති නෑ කවුරුවත් අපේ පුද්ගලික ජීවිත වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවට.

මං ඊයෙ හවසම අප්සරා ගැන විස්තරේ යාලුවෙකුට ටෙලිෆෝන් කරලා කිව්වා. මිනිහා කිව්වෙ මෙහෙම කතාවක්.

මචං... උඹ ඇවිල්ලා.. පාරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින නියෝලිබරල් මානුෂිකකරණයේ ආන්තිකත්වය කරා පැමිණි පසුනූතන පිරිමියාගේ අවිඥාණික සයිබර් ෆැන්ටෑස්මැටික ලිංගිකත්වය ස්වයං වින්දන කලාපයේ තබා ගනිමින් තමන්ගේ ආත්මය රැකගැනීම සඳහා අන්තර් අක්‍රියතා කලාපයට පැමිණෙන පිරිමියෙක්......

පෙනේද? මුංගේ ඉරිසියාව..........!

Thursday, October 14, 2010

අද වගේ දවසක - සුළඟ එනු පිණිස....

වසර පහකුත් දින විසි තුනක් පරණ කේන්තියක් මා සිත තුල තවමත් දළුලමින් වැඩේ.

මට හොඳින් මතක පරිදි ඒ ඓතිහාසික කේන්තිය පලමුවරට පැන නැංගේ කුරුණෑගල ‘නිව් ඉම්පීරියල්’ හෝල් කාරයා එක්කය. ‘සුළඟ එනු පිණිස’ කුරුණෑගල ප්‍රදර්ශනය අරඹා එදිනට දින හයක් ගතවී තිබිණී. ජීවිතයේ එදිනෙදා ඉටුකරනුව පැටවී ඇති කුදු මහත් වැඩකටයුතු අටෝරාසියක් බල්ලට දමා එදින උදයේ කුරුණෑගල බසයකට නැග ගතිමි. දහයයි විසිපහට පමණ කුරුණෑගලින් බැසගත් මා හැල්මේ දිවගියේ නිව් ඉම්පීරියල් සිනමා ශාලාවටයි. ඉදිරිපස සුපුරුදු කටවුට් එකේ අලවා තිබූ දෙමල චිත්‍රපටයක දැන්වීම බලමින්ම ටිකට් කවුන්ටරය වෙත ගියෙමි.
“කෝ සුළඟ එනු පිණිස...?”
“ඊයෙ ගැලෙව්වනේ.... එහෙන් දැනුම් දුන්නා... හැමතැනම ගලවලා...”
මා විසින් හදිසි අවස්ථාවලදී භාවිතයට ගන්නා දෙවන භාෂාවෙන් වචන දෙකකට වඩා පිටවීමට නොදී ආපසු හැරුණෙමි.
“මුංගේ අම්........”

මේ පරණ මල ආපසු පැන්නේ බූන්දියේ දමා තිබූ බෙනට් රත්නායක කලා යයි කියන අමන කතාවක් කියවීමෙනි. මේ යක්කු හැදෙන්නේ නැත. හැදෙනවා යනු සම්‍යක් ඥාණය ලබා ගැනීම නොවේ. අඩුමගානේ කෙළවී ඇති පරිමාව දැන උම්බෑ නොගා සිටීමේ අවම කපටිකම අත්පත් කර ගැනීමයි. හැදෙනවානම් දැනට සිදුවී ඇති හරියද හොඳටම ප්‍රමාණවත් බව මා වැනි සියළු ගොබ්බයින්ගේ අවබෝධයයි.

පසු කලෙක mkv ෆයිල් එකක් වශයෙන් මා අත පත්ව, අඟල් 14 පරිඝනක තිරයක් මත, කනේ හෙඩ්ෆෝන් ඔබාගෙන වටපිට බලමින් නැරඹීමට සිදුවූ (අරුන්ගෙ අම්.....!) ඒ අති විශිෂ්ට රුපාවලිය දැනුදු මැවී පෙනේ.

මා උපන් පොළොව මත රූගත කෙරූ මෙම විශිෂ්ට සිනමා වියමන සමඟ නිදහසේ විසල් තිරයක දැහැන්ගතවීමට මා හට ඇති අයිතිය කෙළෙසු සියළු මහත්වරුණි,

ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ අවසන් වූයේ තොපගේ සුරතාන්තයයි.

මනෝමය යුදබිමක් තුල ගත් පරණ ආතල් සියල්ල පශ්චාත් යුදපිටියක සිට ගැනීමට සැරසෙන නුඹලා විසින්, ‘විමුක්ති ජයසුන්දර රූප මායාවක් මගින් කිරීමට සූදානම් වූ බවට’ චෝදනා කල සියළු කුමන්ත්‍රණ, අද දවසේ මහදවල් සිදුවෙමින් පවතින විට ඒවා සාධාරණීකරණය කරමින් සිටී.

විමුක්ති ව්‍යාජ ලෙස කෙළෙසීමට තැත්කල බව කියූ සිංහල-බෞද්ධ රණවිරුවාගේ හිටපු ලොක්කාම, කාන්තාවන්ගේ පියයුරු උමතුවෙන් සපා කෑවෙකු බවද, සුළු වරදකට පවා සෙබළුන්ගේ කන් කපා දැමූවෙකු බවද අද කියන්නේ ඔබ විසින්මය. විමුක්ති කෙළෙසීමට තැත්කල සිංහල බෞද්ධ ශිෂ්ටත්වය වෙනුවෙන් පෙනීසිටි ඔබ අද, සිංහලයා යනු අනුකම්පා විරහිතව සතුරාගෙන් දිගින් දිගටම තිරස්චීන ලෙස පළිගන්නා නින්දිතයෙකු බව ජාත්‍යන්තරව සනාථ කරමින් සිටී. විමුක්ති පාවා දීමට සූදානම් වූ ශුද්ධ වූ යුද්ධය යනු, කිසිදු යුද නීතියක් මායිම් නොකල අවල කෙළියක් බව සාක්ෂි සහිතවම සනාථ කරමින් සිටින්නේ ඔබගේ නවතම (පශ්චාත් යුද) වීරවරිය වන ‍ෙෆ්‍රඩ්රිකා ජෑන්ස් විසිනි. විමුක්තිගේ ජාත්‍යන්තර NGO කුමන්ත්‍රණ, අද ඔබ විසින් ප්‍රදර්ශනය කරමින් සිටින ඔබාමාලෝලිත්වය හමුවේ විහිළුවකි.................

ඔබලා විසින් තවදුරටත් මා වෙත නිර්දේශ කරමින් සිටින අබා / සමනළ තටු / බඹර වළල්ල / ඉර හඳ යට වැනි සිනමා කෘති කිසිවක් මා නරඹා නැත. ඒවා නිර්දේශ කිරීමෙන් ඔබගේ ගඳ ගහන කිළිටි ආත්මය සේදී පිරිසිදු වී ඇතැයි නොසිතන්න. මේ කෙළවීම ඇරඹුණා පමණි.

මේ සිදුවන දෙයට මා කැමතිය. මට ඉන් සියුම් සතුටක් දැනේ.

ප.ලි.
මෙම ලිපියට අදාල නොවූවද, සුළඟ එනු පිණිස - ගෝලීය ධනවාදයේ ‍ගොදුරක් බව සොයාගත් අප යුරෝපීය ජාතික මිතුරාවද සිහිපත් කරමි.

Monday, October 4, 2010

ජැක්සන් ඇන්තනී තට්ටෙ ගාපු හැටි.

මේක මගේ හිතළුවක් කියල ඔබ හිතන්න පුළුවන්. ඒත් මේ සිද්ධියට ‘අඹ කීර්ති’ කෙලින්ම සම්බන්ධ බව දන්නේ මම විතරයි. කොහොමත් අඹ කීර්තිව දන්නෙත් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව බොහොම සුළු පිරිසක් බව කියන්න ඕනෙ. ගමේ මිනිස්සු අඹ කීර්තියා කිව්වට ග්‍රාම සේවක රාලහාමි කියන්නෙ ඒ.පී. කිර්තිරත්න කියලා. ප්‍රේමතිලක සාජන් මහත්තයා කියන්නෙ අඹයා කියලා. ඕ.අයි.සී. මහත්තයට මිනිහව තුන් පාරක් මුණගැහිල තිබුනට නම දන්නෙ නෑ. අපේ ඇමතිතුමා මිනිහව දන්නෙම නැති එකේ ජනාධිපතිතුමා කොහොමවත් දන්නෙ නෑ. ජනාධිපතිතුමත් නොදන්න ඒවා ජැක්සන් ඇන්තනී කොහොම දැනගන්නද?

අඹ කීර්ති කියන නම හැදුන හැටිවත්, ගංකාරයෙක් නොවෙන මිනිහා ගමට ආපු වකවානුව වත් මම හරියටම දන්නෙ නෑ. මං හිතන්නෙ මිනිහා මුලින්ම ආවෙ හෙලේනා කොහුමෝලෙ වැඩට. මට මතක විදිහට ඒ කාලෙ තරමක නෝන්ජලයෙක්. හැබැයි ඒ දවස්වල මෝලෙ කොහු පීරපු කාන්ති සම්බන්ධ සිද්ධියකට මෝලෙ මැනේජර්ගෙ හොම්බට එකක් ඇනල දුවන්ඩ තරම් මිනිහට පොඩි ගටක් තිබුනා. එදා අතුරුදහන් වෙලා සුමාන තුනකට විතර පස්සෙ ආපහු කාන්තිලගේ ගෙදර ඇවිත් බින්න බැස්සට පස්සෙ තමා මමත් මිනිහව හරියකට අඳුනගත්තෙ. කොහොමත් කාන්ති තමයි මිනිහගේ කොණ්ඩ රැවුල කපලා, දත් ටික මැදලා කාරිය ඔය තත්වෙට වත් ගත්තෙ කියන්ඩ පුලුවන්.

මිල්ටන්ගෙ කසිප්පු තිප්පොලෙන් තමා මිනිහා ගමේ බජාර් එකට වැටුනේ. පස්සෙ කාලයක් මිල්ටන්ගෙ සුළු පරිමාන කසිප්පු ව්‍යාපාරෙ වැඩ කලා. මහ වැඩකුත් නෙමේ. බෝතලෙන් වීදුරුවට වක්කරලා දීල සල්ලි ටික අරන් මිල්ටන්ට දෙන එක. හැබැයි ඒ රස්සාවත් අවුරුදු තුන හතරකට වඩා කෙරුණෙ නෑ. අඹ කීර්ති මිල්ටන් එක්ක ඇයි හොඳයිය නතර කරන්ඩත් හේතුව කාන්තියගේ මොකද්ද හුටපටයක් කියලයි දන්න උන් කියන්නෙ. කොහොමත් පස්සෙන් පහු කාන්තියා රට ගියාට පස්සෙ දරුවො දෙන්නත් ඉස්කෝලෙ යවාගෙන වැඩි සද්ද බද්ද නැති කාලයකුත් ගෙවිල ගියා.

අඹ කීර්ති ආපහු බජාර් එකට එන්නෙ තිලක් මහත්තයත් එක්ක. තිලක් මහත්තයා ගමේ නිදහස් පක්ෂ සංවිධායක. ප්‍රදේශීය සභාවට දෙපාරක් ඉල්ලලා පරාද උනත් උන්නැහේට යමක් කමක් කරගන්ඩ බැරි කමක් තිබුනේ නෑ. අවසන් වෙමින් තිබුණු යුද්දේ උණුසුම ජාතික රූපවාහිණිය හරහා ගමට තදින්ම දැනිලා තිබුණු වකවානුවක් ඒක. රණ විරුවන්ට සුබපතලා ලොකු කටවුට් එකක් හන්දියේ හයි කරන්ඩ තිලක් මහත්තයාට ඕනෙ කරලා තිබුණා. ඔන්න ඕකට ආධාර එකතු කරන්ඩ ගිහින් තමයි අඹ කීර්ති තිලක් මහත්තයලගේ දේශප්‍රේමි බජාර් එකට සෙට් උනේ. බජාර් එකේ කිව්වට ඔය කොයි බජාර් එකෙත් වාටිය හරියෙ තමා.

කොහොමත් වැදගත්ම සිද්ධිය උනේ මතක විදිහට අවුරුද්දකට විතර කලින් චන්දන කොලුවගේ මගුල් ගේ දවසෙ. වලිය පටන් ගත්තෙ මහ දවල් සංගීතෙ අතරතුර. පදමට වෙරිවෙලා හිටපු අඹ කීර්තිට සිද්ධවෙන දේ හරියටම තේරුම් ගන්න බැරි උනත්, සංගීතෙත් පරදවන හඬින් කෑ ගසමින් නලියන මිනිස් පොදිය දිහාවට සරමත් අතකින් අරන් විසිවෙවී දිව්වෙ කොහෙන් ආවද නොදන්න පොල්ලකුත් අතක දරාගෙන. මිනිස් පොදිය තුලට අසිහියෙන් වගේ වැදෙනවා විතරක් මිනිහට යාන්තම් මතකයි.

දවසකින් විතර සිහිය ආවට පස්සෙ සිද්ධ වෙච්ච දේ ඉස්පිරිතාලෙදිම සහසුද්දෙන් දානගත්තා. අඹ කීර්තිට ගහල තිබුනේ මිල්ටන්. පරණ තරහකට කියලයි තිලක් මහත්තයා කිව්වෙත්.
“ඕකුන්ට නටන්ඩ දුන්නා වැඩියි...... බලාගමුකො.....!”
තිලක් මහත්තයා කිව්වෙ හිමින්. හැබැයි බැරෑරුම් විදිහට. ඒ වෙද්දිත් මිල්ටන් රිමාන්ඩ් කරලා.

ඔලුවෙ තුවාලේ මැහුම් කපලා හොඳ තත්වෙට එන්ඩ මාසයක් විතර ගියා. ඒ අතරෙ මිල්ටනුත් නිදහස් වෙලා ඇවිත් පුරුදු ව්‍යාපාරෙත් පටන් අරං තිබුනේ. අඹ කීර්තිගේ ඔලුව ගන්ඩම දෙයක් නෑ. මහා මූකලානක් මැද්දෙ තියෙන එලිමහන් දූපතක් වගේ ඔලුව වම්පැත්තෙ පොඩි තට්ට පදාසයක්. ඒ මැද්දෙ වියළුන තුවාල කැළැල්. කීර්ති බයිසිකලෙත් අරන් හෙමිහිට හන්දියේ බේබියගේ සැලුන් ඩී ස්මාර්ට් එකට ගියා.
“බේබි මලේ.... ඔන්න ඔය තට්ටෙ ගානට සේරම කපලා දාහංකො... බලාගෙන තුවාලෙ....”


ආපහු බයිසිකලේ පැදන් ගෙදර එද්දි උනත් කීර්තිට මතක් උනේ හිසකේ කොට පිහදාන ගමන් බේබියා කියපු කතාව.
“ෂහ්..... නෝට් එකට කැපුවමනේ කීර්ති අයියගේ නියම ලුක් එක එන්නේ...... ඒයි සිසිරයා.... ඇවිත් බලපංකෝ...... නියම මැරයා........!”
ඔය හිතුවිල්ලෙන් වැඩි දුරක් එන්ඩ ලැබුනේ නෑ. බයිසිකලේ හරස් කරලා ඉද්ද ගැහුවා වගේ නවත්තපු තැපැල් නයින්ටියේ උන්නේ සජිත්. මිල්ටන්ගේ අලුත් ගෝලයෙක්.
“ආ.... උඔ එලියට බැස්සද? තෝ ඉස්පිරිතාලෙදි හොඳවෙලා ඇවිත් මිල්ටන් අයියට ගේම දෙනව කිව්වලු නේ..? තෝ එලියට එනකං තමා අපිත් හිටියේ.... බලාගමු...!”

දෙකන්සෙන් ගිණියම් වේගෙන එද්දි ඌ තැපැල් නයින්ටිය හරවගෙන අතුරුදහන් උනා. ඊට පස්සෙ බයිසිකලේ ගෙදර බිත්තියට අතඇරලා දරමඩුවෙ වහලෙන් කඩුවක් ඇදල ගන්නවත්, ආපහු මිල්ටන්ගෙ මිදුලේ බයිසිකලේ අතඇරලා ඉද්ද ගැහුවා වගේ හිටගත්තත් කීර්තිට මතකයි.
“අඩෝව්............. මිල්ටා...............!”

පස්සෙ ආරංචි උන විදිහට එදා මිල්ටන් නතරවෙලා තිබුනේ වැව් තාවුල්ලටම දිව්වට පස්සෙ. ඊළඟ සතියෙ සුරාබදු එකෙන් පැනලා හතළිස් හයේ බූලියක් එක්කම මිල්ටනුයි, ගෝලයො දෙන්නෙකුයි කුදලගෙන ගියා. ඊළඟ සුමානේ නමෝවිත්තියෙන් අඹ කීර්ති මිල්ටන්ගෙ බිස්නස් එක තමුන්ගෙ ගෙදරම පටන් ගත්තා. වැඩේට උදව්වක් හැටියට ප්‍රේමතිලක සාජන්ට්ව අඳුන්නලා දුන්නෙත් තිලක් මහත්තයම තමයි. කොහොමත් ලබන අවුරුද්දෙ තියෙන ප්‍රාදේශීය සභා ඡන්දෙදි අඹ කීර්ති තිලක් මහත්තයට ලොකු හයියක් වෙන්ඩ ඉඩ තියෙනවා. මොකද දැනටමත් වැඩිදෙනෙක් මිනිහට කියන්නෙත් තට්ට කීර්ති කියලා.

මෙච්චර දිගට කියෙව්වත් මේකෙ හරිහමන් කතාවක් නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මේකෙ නියම කතාව එන්නෙ මම විතරක් දන්න වෙන පොඩි දෙයක් එක්කයි. ඇත්තම කිව්වොත් අඹ කීර්ති බේබියගේ ‘සැලුන් ඩි ස්මාර්ට්’ එකෙන් තට්ටෙ ගාපු දාම තමයි ජැක්සන් ඇන්තනී පේමඩුව හන්දියෙ ‘සක’ සැලුන් එකෙන් තට්ටෙ ගෑවෙත්.

Follow by Email