Friday, August 27, 2010

ශෘ.ක.පා. කොමිසම

නිධාන කතාව.
62 හැවිරිදි උක්කු අම්මා පසුගිය දි‍නෙක නාගදීපය වන්දනා කරන්නට ගියාය.

“පුලුවං කමකට නෙමේ. බැඳපුම දවස් වල එක පාරක් ගිහිං තියෙනවා. ඊට පස්සෙ ඉතිං කොටි කලබලනේ.... ඔය අපේ ගනේවත්තෙ මලයා තමා බස් එක කතා කරලා මටත් වරෙං අක්කෙ කියලා කිව්වෙ.... ලොකු බස් එකක්. සේරම පවුලෙ අයම වගේ තමා....

දවස් තුනයි... මං ගියෙත් බයෙං බයෙං වගේ.... මේ වාත අමාරුව... ඕවා ඉතිං හොඳවෙන එව්වා නෙමේනෙ... ඒ උනාට කවුද හිතුවෙ ඇස් දෙක පියවෙන්ඩ කලියෙං අපිට ආයෙ ඔයපැත්තෙ යන්ඩ ඇහැක් වෙයි කියලා.... ඒ අතිං මහින්ද මහත්තයා කරගත්තෙ නං මහා පිනක්....”

“යාපනේ දැං හරි දියුණුයි.... එහේ දෙමල මිනිස්සුන්ටත් හරි ජයයි... ගෙයක් ගත්තා... දවසට පන්දාහක්ද කොහෙද.... සල්ලිනේ.....

අපරාදෙ කියන්ඩ බෑ හිතේ හැටියට වැඳගත්තා... ආපහු එන ගමං තමා අනුරාධපුරෙං නවත්තලා ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ බැස්සෙ.....
බස් එක නවත්තලා සෑහෙන දුරක් පයිං යන්ඩත් තියෙනවනේ.... ඉතිං මේ කකුලත් නොන්ඩි ගගහා ඔච්චර දුර කාල්ගාලත් මුං මහ මලුවට යන්ඩ දුන්නෑනෙ.....”

“ඇයි යකෝ..... වන්දනාවක් යනකොට ඇඳුම් අල්මාරි පිටිං උස්සං යනවයැ.... අන්තිම දවසනේ... ඇඳපු නැති එක හැට්ටයයි තිබුනේ.... ඒක ඇඳලා සුදු පාටට හුරු චීත්තයක් ඇඳගත්තා....”
“අත්කොට එව්වා ඇඳං ආවා කියලා මායි තව අපේ කෙල්ලො තුන් දෙනෙකුයි ආපහු එව්වනේ..... උන්ටත් ලැජ්ජාවෙ..... ඔතෙන්ටම ගිහිල්ලත්......?”

“අසංවර විදිහට ඇඳගෙන යන්ඩ දෙන්නෑලු.... ඇයි යකෝ... අපි හෙලුවෙං ගියායැ.....? මීට ඉස්සර ගියෙත් ඕවා ඇඳං තමා. අනික දැං කවද ඉඳංද ඔය අත්කොට දෙක අසංවර උනේ....?”

“යකෝ ජය සිරිමා හාමුදුරුවංගේ මලුවට අපි ජොලි කොරන්ඩ යනවයැ..... හරි අත්කොට ඇඳං ගියාට මොකද්ද තියෙන අසංවරේ.....? ඔන්න කෙල්ලෙක් එහෙම ගියොත් නං ඕං පිරිමි ටිකක් චූං වෙයි. ඉතිං ඒකට ගෑණු අපි පලිද?”

“ඕකම තමා වෙන්ඩ ඇත්තෙ.... ඔය ගෑණුංගේ අත්කොට දැකලා පොඩ්ඩ ඇත්නං චූං වෙන එකෙක්ට හිතෙන්ඩ ඇති යකෝ.. මේක වස අගවුරවයක් නේන්නං කියලා.... ඉතිං තහනං කොලා.... දැං එවුන්ට බැරිවෙලාවත් ගෑණුංගේ මූණු දැකලා චූං යන්ඩ ගියොත්......?
අපිටත් අර ---ගෑණු වගේ .........................”

“මට දුක මැරෙන තුරාවට ආයෙ කවදාවත් ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ යන්ඩ බැරිවෙයිද කියන එක........”

අතිගරු ජනාධිපතිතුමනි,

ආගමික ශිෂ්ඨත්වය පිළිබඳ නව ගැම්මක් ඇතිවී ඇති මෙවන් මොහොතක මෙම කරුණ ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කිරීමට හැකිවීම අපහට සතුට දනවයි. ස්ත්‍රීන්ගේ සංවරභාවය පිළිබඳ ස්ථාවර පොදු අර්ථකථනයක් නොමැතිවීම හේතුවෙන් මෙවන් ගැටළු දිනෙන් දින වර්ධනය වනු අපට පෙනේ.
එබැවින් දිනෙන් දින වෙනස්වන සමාජ තත්වයන්ට අනුකූලව ස්ත්‍රී ශරීරයේ නව ශෘංගාරජනක කලාපයන් ජාතික මට්ටමෙන් හඳුනාගැනීම සහ එම කලාපයන් නිසිලෙස කළමණාකරණය වැනි කරුණු සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක්ව පවතී. මේ සඳහා සුදුසු පුද්ගලයින්ගෙන් සමන්විත නව ශෘංගාර කලාප පාලන කොමිසමක් පත් කිරීමටද, සංස්කෘතික අමාත්‍යාංශය හරහා එම කොමිසමට බලපෑම් සිදුවීම වැලැක්වීම සඳහා පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය එම අමාත්‍ය ධූරයෙන් පහකිරීමටද කාලයයි මේ.

අදත් පිටපත....... (උගෙන්ම තමා)

Sunday, August 22, 2010

ගඟක් ගැන.....


වේදිකාව පසෙක මගුල් පෝරුවකි. කඩදාසි සැරසිලි, පුටු, පුන්කළස් ආදීය අක්‍රමවත් ලෙස විසිරී ඇත. වේදිකාවේ පසෙකින් මනාලියක අතින් අල්ලාගත් මනාලයෙකු එක්වරම ප්‍රවේශ වේ.
මනාලයා - අපි...මෙහෙන් දුවමු..... මෙහෙන් දුවමු.....
මනාලිය - අනේ මට නම් හරි මහන්සියි.....
මනාලයා - එහෙම කියලා කොහොමද...? මෙතන උන්නොත් අරූ අපිව අල්ලා ගනී......
මනාලිය - අනේ මට නම් තව අඩියක්වත් උස්සන්ඩ බෑ... තවත් මෙහෙම දිව්වොත්....
මනාලයා - අනේ මන්දා මොනවා කරන්ඩද කියලා .... ඔයාට තේරෙන්නෙ නැද්ද මෙයා..... මෙයා... මේ..මේ... ඔයාගෙ නම මොකද්ද?
මනාලිය - දිස්නා...!
මනාලයා - දි..ස්නා....... හරි ගොඩේ නමක්නේ......?

ඇය හා මා විවාපත් වන්නට නියමිතව තිබිණි. ඒ මන්දැයි යන්න අප දෙදෙනාම නොදැන සිටියෙමු. අප අතර සම්මත අර්ථයෙන් ප්‍රේම සබඳතාවයක් විණි. ඇය මාහට හෝ මා ඇයට කැමති වූයේ ඇයිදැයි අප දෙදෙනාම නොදත්තෙමු.
"ඔයා හරි අවංකයි..... මං ඒකට.....!"
ඇය කීවාය. මා අවංක නැති බව මා දනිමි. එහෙත් ඇය මා අවංක බව සිතන බැවින් මා සුපුරුදු වංක කමින් යුතුව නිහඬ වීමි. මා ඇයට කැමති වූයේ ඇගේ රවුම් මුහුණට සහ නිහතමානීකමට යයි සිතමි. එහෙත් ඇය නිහතමානී අයෙකු නොවන බව ඇය දැන සිටියාය.

මනාලිය - ගොඩේ හරි කොහේ හරි....... තවත් කොච්චර කියලා දුවන්නද..?
මනාලයා - අනේ මන්දා... මේ හරිය.... එච්චර හරි නෑනේ... මේ හරියෙ....
(මනාලයා එක්වරම පෝරුව දකී)
මනාලයා - දිස්නා..........!
මනාලිය - දෙයියනේ.... මේ අපේ මගුල් පෝරුව....
මනාලයා - ඇත්තමයි... අපි ආපහු මෙතෙන්ටම ඇවිල්ලා....
මනාලිය - අපට නම් ගැලවීමක් ඇත්තෙම නෑ.....!
මනාලයා - එක්කෝ ඔන්න ඔහෙ ඌ ආපුදෙන්.... අපි පොඩ්ඩකට මෙහෙන් ඉමු...!
(මනාලිය පෝරුවේ වාඩිවේ. මනාලයා පෝරුව පරීක්ෂා කරයි)
මනාලයා - මේක... හරි ලස්සනට හදල තියෙනවනේ.........

අපගේ ප්‍රේම සබඳතාවයෙහි නිශ්චිත අවසානයක් ලෙස අප කඩිනමින් විවාහ කරවන්නට ඇගේ දෙමාපියන්ට අත්‍යාවශ්‍යව තිබිණි. ඉන් අනතුරුව අප ප්‍රේම කලා හෝ නොකලා, කිසිවෙකුටත් වගක් නොවන බවද අප දැන සිටියෙමු. ඇගේ බාල සොහොයුරියන් දෙදෙනාගේ උර මත ඇය විය. ඇගේ උර මත?

මනාලිය - මං කොච්චර ඇඬුවද මේකට නගින්න බෑ කියලා.......
මනාලයා - හහ්... එහෙනං ඔය නැලවි නැලවි නැග්ගෙ.....?
මනාලිය - කොහෙද..? අප්පච්චි හෙන.... නාරං කෝටුවක් කඩාගෙන ආවනේ...
මනාලයා - හැබැයි අපි දෙන්නා මේකෙන් බැහැලා පැනලා නොදුවන්ඩ.... තව පොඩ්ඩෙන් අරකා අපි දෙන්නව අල්ලලා ගැටගහනවා.....
මනාලිය - චිකේ..... අර සෙනඟ ගොඩේ....?
මනාලයා - නෑ.... මං හිතන්නේ ඇඟිලි විතරයි ගැට ගහන්නෙ......
මනාලිය - උගේ හැටි විතරක්......! ඔයා දැක්කද? අතක මොකද්ද කෙණ්ඩියකුත් තිබුනා....... ඌ මං ගාවට එහෙම ආවනං...... මට කලන්තෙ හැදෙන්ඩයි ගියේ......
මනාලයා - පෝරුවෙදි කලන්තෙ හැදෙන්නෙ හොඳ ගෑණුන්ට නෙමෙයිලු.....

අප පෙම්වතුන් වශයෙන් නිතර හමු විය යුතු වීමු. අප තෝරාගන්නේ මුහුදු වෙරළයි. මහා සමුද්‍රඝෝෂය අපගේ කතාබහ, විහිලු තහලු, ඇනුම්පද, බැණඅඬගැසීම් ලවණ මුසු සුළඟේ මුසු කොට අතුරුදන් කරයි. හරියටම පැය දෙකකින් ඇය කඳුළු පිසදාගෙන කොණ්ඩය සකස් කොට නැගී සිටියි. මම සිගරැට්ටුවක් දල්වා ගනිමි.
"ඔය ජරාව බොන්ඩ එපා......."
"ඇයි මං ඉක්මනට මැරිලා ඔයා අනාත වෙයි කියලද..?"
"කොහොමත් දැනටම අපි දෙන්නම අනාත වෙලා වගේ තමා....."
"පනිමුද මූදට...?"
"අපොයි අද බෑ... යමු..... කවද්ද ඒ පැත්තෙ එන්නේ....?"
මාළු මාරකැට්ටුවේ පිළී ගඳ දැනෙන ඉසව්වට පැමිණ අපි වෙන්වන්නෙමු.

විවාහය සඳහා තවත් කල් ගන්නට බැරි තත්වයකට මා මුහුණ දී සිටියෙමි.
"තවත් මොනවද බලන්නෙ දරුවො.... ඔය දෙන්නා යාලු වුනා..... එහෙ මෙහෙ ගියා.... කොහෙ ගියාද අපි ඇහුවෙත් නෑ...... ගමේ රටේ හැමෝම වගෙත් දන්නවා.... දැං ඉතිං මේක ඉවරයක් කරන එක අපේ වගකීම...... තව ගෑණු දරුවො දෙන්නෙක් මෙහෙ ඉන්නවනේ...."
ඔවුන්ගේ තත්වය මා හොඳින් තේරුම් ගෙන සිටියෙමි.

මනාලිය - ඉතිං.....? තමුසෙට මොකටද මගේ හොඳ නරක...? තමුසෙ කියලත් හොඳ මිනිහෙක්ම වෙන්ඩ බෑනේ.......
මනාලයා - තමුසෙ ටිකක් හොයලා බලලා කතා කරනවා..... මට දැං අවුරුදු තිස් හතක්.... තාම ගෑණියෙකුගේ ඇඟට එක අතක් තියලා නෑ......
මනාලිය - හරි ඉතිං.... එක අතයැ තියෙන්නෙ...? මාත් ඕවට අහුවෙන ගෑණියෙක් නෙමේ....
මනාලයා - හහ්..... මූණ බැලුවම පේනවා...... කජුගස් හතම පැනලා ඇවිදින් මෙතන....
මනාලිය - හැටි විතරක්..... උලම වගේ.....
මනාලයා - කොහෙද යන කිඹුලියක්.....
මනාලිය - ඉත්තෑවා....!
මනාලයා - ඉත්තෑවි....!

අප එකිනෙකා වඩාත් හඳුනාගනිමින් සහ අපගේ නොගැලපීම් දිනෙන් දින අවබෝධ කොටගනිමින් සිටියෙමු. ඒ අතර ඇගේ දෙමාපියන් මගේ මව්පියන් හා තීරණාත්මක සාකච්ඡා වට අවසන් කොට තිබිණි.
"ඔයා කවද හරි කේන්ති ගිහින් මට ගහනවද?"
"මාර කතාවක්නේ...... ඇයි මං ඒ වගේද පේන්නෙ..?"
"නෑ... මං පොඩිකාලේ අපේ තාත්තා අම්මට ගහල තියෙනවා... මට බයයි..."
"නෑ... මං එහෙම නෑ..."
"ඒ උනාට අපි දෙන්නා හැමදාම රණ්ඩු කරන්ඩ ගනියි නේ.....?"
"මන්දා......"
"මං රට යන්ඩද?"

(මනාලයා හා මනාලිය ගේ ආරවුල අතරතුර මහල්ලෙකු (අශ්ඨකාවාර්ය) පැමිණේ. ඔහුගේ අතේ කෙණ්ඩියකි.)
මහල්ලා - ආ... තමුසෙලා දෙන්නා මෙතනම....? මං කොච්චර නං දුර ගියාද තමුසෙලා දෙන්නා හොයන්ඩ? හ්ම් .... දැං ඉතිං නගිමු......
මනාලයා - අනේ ලොකු උන්නැහේ.... මං කැමති නෑනෙ ඕකට.....
මනාලිය - අනේ ඇත්තමයි... මාත් කැමති නෑ.....
මනාලයා - අපේ මේ තරහක් මොකුත් නෑ... (මනාලියට) නෑනේ...?
මනාලිය - (ඉවතට) නෑ නේන්නං...!
මහල්ලා - මේ ළමයි දෙන්නා ටිකක් අමුතුයි.... කියන්නේ වෙනස්.... ඔය තරුණ වයසට ටිකක් මුරණ්ඩුයි තමා.... හැබැයි එකෙක්වත් මේ වෙනකං ඔහොම කියලා නෑ....
මනාලයා - අනේ පිං සිද්ධ වෙයි.... අපිට මෙහෙම ඉන්ඩ දීලා ඕන එකෙකුට ඔය හූනියම කරගන්නවකෝ..... අනික ඇයි මේ කරුමෙට අපිවම තෝර ගත්තේ....?
මහල්ලා - ඇයි බං.... මේ ගෑණු දැරිවියක්..... උඹ පිරිමියෙක්.... වෙන මොනවද..?
මනාලයා - හා..... ඒ ඇද්ද?
මහල්ලා - මන්දා.... මමනං බලන්නේ ඔච්චරයි.......

ඇයව තේරුම් ගැනීමට හැකිවූවත්, නැතත් ඇය හා සාමකාමීව විවාහ දිවිය ගෙනයාමට මම අවසානයේදී ඉටාගත්තෙමි. ඇගේ විදේශගතවීමේ අදහසට මා තරයේ විරුද්ධ වූ බැවින් ඇය එම අදහස අත්හළාය. අපි මාස දෙකක් ඉකුත්වූ දිනකදී විවාහ වීමට දින නියම කර ගතිමු. මසකින් පමණ ඇයව හමු නොවූ සතියක අන්තයේ ඇය ලිපියක් එවා තිබුණි.
"මං කටානෙ නැන්දලගෙ දිහා ආවා. තව සතියකින් විතර ආපහු එනවා...."

මනාලයා - ළඟට එන්ඩ එපා..... අනිනවා හොම්බ හිල්වෙන්ඩ.....
මහල්ලා - උඔලට තේරෙන්නෙ නෑනේ..... මං මේ උදාකරලා දෙන්ඩ යන්නේ මේ අනන්ත විශ්වයේ තියෙන උපරිම සැපත...... කියන්නේ ඌ.......ප...රී..ම.......
මනාලිය - තියාගන්නවා ඔහේගෙ සැපත....
මහල්ලා - හරි... ඒක ගියාවෙ.... කවදා හරි උඔලා මැරෙන්ඩ වැටුනු දාක කටට වතුර උගුරක් දාන්ඩ එකෙක් එපාද.....?
මනාලයා - මං ගන්නවා රෝබෝ කෙනෙක්....
මනාලිය - මාත් ගන්නවා......

තවත් සතියකින් ඇය තවත් ලිපියක් මා නමට යොමු කලාය. එම ලිපිය මා අත පත්වන විට ඇය මට හා ඇගේ නිවසට හොරෙන් විදේශගත වී අවසන් බව එහි දන්වා තිබිණි.
"මේකෙන් ඔයාගෙ ජීවිතේ වගේම මගේ ජීවිතෙත් කාලකණ්නි වෙයි කියලමයි මට හිතෙන්නෙ. මං අවුරුදු දෙකකින් එනවා. එතකොට ගොඩක් දේවල් වෙනස්වෙලා තියෙයි. හැමදාමත් ඔයාට ආදරෙයි"

ඉනික්බිති ගෙවුනු තෙසතිය මගේ ඇටමිදුළු මධ්‍යසාරය තුල පොඟවා හළෙමි. පෑනක් ඇල්ලීමට තරම් වලංගු නොවූ ඇඟිලිතුඩු වලින් ඒ තෙතබරිත හැඟීම් සියල්ල, පළායන මනාල යුවලක වේශයෙන් කසිකබල් පරිඝණකයක් තුල මුදාහැරියෙමි. කවර හේතුවකට හෝ දෙසතියක් අවසන් වන විට මනාලයා සහ මනාලිය මහල්ලාට එරෙහිව කරන ලද මාරාන්තික උපවාසයකින් පසු පෙම්වතුන් වී සිටියහ. පසුව මහල්ලා මරා දැමුවෙමි.

ඇය නැවත මෙරට පැමිණියාය. ඒවනවිට මහල්ලාට නැවත පණ එන තෙක් පෝරුව මත බලාසිටින තරුණ යුවල, මවිසින් වේදිකාව මත ප්‍රතිනිර්මාණය කොට වසරක් ගතවී තිබිණි.
"මං ගියාට පස්සෙ හරිගිහිං එහෙනං...... පත්තර පිටුවකුත් නංගි පෙන්නුවා.... මටත් ආසයි ඒක බලන්න........ මොකද්ද කතාව...?"
"ගඟක් ගැන......"
සත්තකින්ම බොක්ස් ගිටාරයක් පසුබිමේ ඔවුහු ගඟක් ගැන ගැයූහ.

'මල් කුමාරියේ...... මේ ශීත ඍතුවයි......
හිම කුමාරියේ......
අර සීත සීත හිම අතුරන්......
මේ ගඟ බලාසිටිනවා........!'

Friday, August 13, 2010

බින්දු දෙකේ වාසනාව


මං කොහොමත් එදා ඉඳන්ම ඕපාදූප හොයන්ඩ එච්චර කැමැත්තක් නෑ. ඒක මගේ තියෙන හොඳම ලක්ෂණයක් කියලා තමයි මං හිතන්නෙ. මොකද එහෙම අය අද හරි අඩුයි. ඔය මාලනී අක්කා ජයපාල අයියත් එක්ක තරහවෙලා මහගෙදර ගියපු කතාව උනත් ජයපාලම කිව්වා මිසක් මං නෙමේ අහන්ඩ ගියේ. අපිට මොකටද ඕවා?

ජයපාල අයිය ගැන කියද්දි මතක් උනේ. ඊයෙ උදැල්ලට කකුල කපාගෙන. මං යනකොට මරතොණ්ඩු කොල තලියක් තියලා ගැටගහනවා. තරමක් ලේත් ගිහින්. මේ යකා අර මඩ දූවිලි පිටින්ම ගැටගහන්ඩයි යන්නේ.
“යකෝ... ඔය තුවාලෙ ඉස්සෙල්ලා හෝදලා හිටපං....... කෝ... මාලනී අක්කේ.... වතුර ටිකක් ගෙනෙංකෝ........”
මගේ කෑගැහිල්ලට ප්‍රතිචාරයක් නෑ.
“ඒකි ගෙදර නෑ බං.......”
ජයපාල ඒ ටික කිව්වේ රෙදි පටියක් ඉරන ගමන් ඌට විතරක් ඇහෙන්ඩ වගේ. මංම ගිහින් වතුර එකකුත් ගෙනාවා.
“ඇයි කොහෙ ගිහිංද..?”
“ඔය උදේ වලියක් දාගෙන මහ ගෙදර ගියේ.........”

ඔන්න ඒකනං ටිකක් සීරියස් කේස් එකක් කියලා මට දැනෙනවා. උන්ගේ අවුරුදු දොලහක විතර දීගේ අතරතුර මාලනී අක්කා තුන් පාරකට වඩා ඔහොම ගිහින් නෑ. එක පාරක් ජයපාල අයියගේ මොකද්ද සීන්කෝන් එකක් මාට්ටු වෙලා. ඒක වෙලා ගොඩක් කල්. ඊට පස්සෙ මොකද්ද එකකට ජයපාල අයියා කණ පැලෙන්ඩ ගහලා. දන්නවනේ ගෑණුන්ගේ කටවල්..? අනිත් වතාවෙ නම් මොකද්ද උනේ කියලා ජයපාල අයියා මට හරියටම කියලා නෑ. ඕනෙනම් අහගන්ඩත් තිබ්බා. මොකටද?

මේ වතාවෙ වැඩේ නම් මටත් අපභ්‍රංශයක්. කියන්ඩ තරං මහ දෙයක් වෙලත් නෑ. දැං මාලනී අක්කගේ නෑදෑ පිරිවර මේ පාර ඉස්කෝලෙ නිවාඩුව අල්ලලා නාගදීපෙ බලන්ඩ යන්ඩනේ ඉන්නේ. ඉතිං ගිය තිස් වෙනිදා මාලනී අක්කා පොඩි එකීත් එක්ක හලාවත ගිහින් තියෙනවා ගමනට අඳින්ඩ ඇඳුම් මොනවාහරි ගේන්ඩ කියලා. ඉතිං හොඳටෝම හවස් වෙලා ආපහු එන ගමං හලාවත ස්ටෑන්ඩ් එකේ ලොතරැයි කූඩුවකට එබිලා ඉතුරුවෙලා තිබුන මහජන සම්පත තුන එතරකින් එකකුත් අරං ගෙදර ඇවිත්. ඒක එච්චරයි.

කොහොමින් හරි එදා රෑ නමය හමාරට විතර ජයපාල අයියා ඉඳලා තියෙන්නේ කුස්සියේ. මාලනී අක්කා සාලේ ටී.වී බලනවා.
“අනේ.......අරක... ඇ..දුනා........!”
සාලෙන් ආපු බෑඟිරියෙන් බයඋනු ජයපාල අයියා සාලෙට එනකොට මාලනී අක්කා ඇස් උඩ තියාගෙන කටත් ඇරගෙන ටී.වී එක දිහා බලාගෙන.
“ඇයි.... මොකද උනේ...?”
“අරක ඇදුනා......”
මාලනී අක්කා තාමත් උන්නු විදිහමයි.
“මොකද්ද..?”
“මහජන සම්පත.... අර..?”
“ඉතිං කාටද? තමුසෙටද...?”
“මට...? ....හලාවත කාට හරි...”
“ඉතිං තමුසෙ කෑ ගහන්නෙ...?”
“බලන්ඩකෝ අර අංක.....?”
“ඉතිං...?”
“ඔය අගට බින්දු දෙක තියෙන ටිකට් එක ගාවමයි මේක තිබුනේ.... මං ඒක අල්ලලත්... මොකටද බින්දු බින්දු කියලා මේක ගත්තා.....
අපරාදෙ.....ලක්ෂ විස්සක්....!”
“විකාර....”
එ‍ෙහම කියලා ජයපාල අයියා ආපහු ගියත් හිත යටින් හිතුනලු අපරාදෙ කියලා.

පහුවදා උනත් මාලනී අක්කා ගෙදර වැඩපොල කලෙත් එලෝවිකාරෙන් වගේ කියලා ජයපාල අයියටත් දැනිලා.
“අපරාදේ නේ.....?”
එදා සිය පාරකටත් වඩා අහපු ඔය ප්‍රශ්ණෙට ‘හ්ම්....හ්’ කියනවා ඇර වෙන මුකුත් ජයපාල අයියා කියලා නෑ. හවස පාරෙ යන හිරු එෆ්.එම් කොලුවගෙන් මාලනී අක්කා ටිකට් හතරක්ම අරගෙන. එදා ටී.වී එකේ ‘ගැහැනු ලමයි’ වත් නොදා ජාතික රූපවාහිනියමයි දාල තිබුනේ.
“ෂිහ් මොනවත්ම නෑනෙ..... අපරාදෙ අරක නේ.....?”
“හ්ම්..... රුපියල් අසූවක්........!”
ජයපාල අයියා කිව්වේ එච්චරලු.

ඊටත් පහුවදා උදේ මාලනී අක්කා කිලුටු රෙදි ගොඩත් අරන් ලිඳ ලඟට යන්ඩ ලෑස්ති වෙලා ජයපාල අයියට කතා කරලා.
“ගමුකො අනේ මෝටරයක් වත්...... මේක මහ කරුමයක්නේ.... උපන්දා ඉඳං වතුර අදිනවා..... තාම ඉවරයක් නෑ...”
ගහෙන් ගෙඩි එන්නා වගේ කියපු මේ කතාවෙන් ජයපාල අයියත් හොල්මන් වෙලා.
“මොන මෝටර්ද බං..... මොනවා හරි කරලා අර චේන් එක බේරගන්ඩ මං බලන්නේ ..... මෙයා මෙතන.....” ජයපාල අයියට කේන්ති ගිය එක සාධාරණයි. එලවළු කීර්ති ගාව දවස් තුනක් පොල රවුමේ ගිහින් හම්බකරන එකෙන් මොන මෝටර්ද? අනික කෙල්ලගේ ඉස්කෝලෙ වියදම්.
“ඒ අස්සෙ මුං නාගදීපෙ යන්ඩත් ලෑස්ති වෙනවා.....”

ඊළඟ දවස් තුන හතරෙත් පොඩි පොඩි වාද විවාද තිබිලා. එක පාරක් තවත් දුම් කන්න බෑ කියලා ගෑස් කුකර් එකක් ඉල්ලුවලු.
“අපරාදෙ අරක ඇදුනනං..... මොනවා කරන්ඩද.... කරුමෙ තමා...”
“හ්...ම්..හ්.....”
“හුම් තමා. ඒ ගෑණි නං මෙලහට වොෂින් මැෂීන්..... කුකර්..... සේරම අරං..... රත්...ත..රං බඩු.........?”
“දැං තමුසෙ කොහොමද දන්නේ ඒක ගෑණියෙකුට ඇදුන කියලා...?”
“හරි ඉතිං.... මිනිහෙකුට ඇදුනත් ඒ ගෙදර ගෑණියෙක් ඇතිනේ.....”
“තමුසෙට නං පිස්සු....”
“ඔව් ඉතිං... පිස්සු නොහැදි උන්නොත් තමා පුදුමේ..... මොනවා කරන්ඩද.... කරුමේනේ....”
ඒ කතාව නං ජයපාල අයියටත් වැදිලා. ඒත් කට වහං උන්නා කියලයි කිව්වෙ.

ඊට පහුවදා මාලනී අක්කා පොඩිඑකීගෙ සපත්තු දෙක මාරුකරන්ඩ ඕනෙ කියලා ආපහු හලාවත ගිහින්. මාරු කරපු සපත්තු දෙකක් නං නෑ. පොඩි එකීට ඇට මාලෙකුයි එයාට යට සායකුයි විතරක් අරන් ඇවිත්.
“ඒක නෙමේ.... මං අරක ඇහුවනේ......”
“මොකද්ද....?”
“සුවීප් එක....!”
“කාගෙන්ද..?”
“දෙයියනේ ලොතරැයි කාරයාගෙං...... ඒ යකා කියනවා ඒක මිනිහගේ සුවීප් එකක් නෙමෙයිලු.... මුංගෙ බොරු...... ගානක් හම්බවෙන්ඩ ඇතිනේ......?”

ඊටත් දවස් දෙකකට පස්සේ තමා වැඩේ උනේ. එදා සඳුදාවක්. පාන්දර හතරට විතර පොලට ගිය ජයපාල අයියා එලවළු කෑලි ටික බාගෙන සුද්ද කරලා කාරිය කීර්තිට බාරදීල අටට විතර ගෙදර ආවෙ උදේට කාල යන්ඩ. ඔය අතරෙ තමා මාලනී අක්ක කතා කරලා තියෙන්නේ.
“දැං මොකද්ද මං නාගදීපෙ දාන්නෙ....?”
“චේන් එකද..? නංගිගෙන් ඉල්ලගමු”
“හැමදාම එක එකාගෙ එව්වා දාන්ඩ පුලුවන්ද..? මගේ එක බේරලා දෙනවා.....”
“යකෝ.... මං ඒක තියලා සූදු කෙලියා වගේනෙ කතාව...?”
“තමුසෙ මිනිහෙක් නං.... තමුංගෙ.......”
ඒ කතාවට පිඟානත් වීසි කරලා ජයපාල අයියා මාලනී අක්කා ළඟට පැන්නත් මොකුත් කරලා නෑ. කොහොමත් කලින් කණ පලපු වෙලාවෙ මාලනී අක්කගේ අයියා වෝනින් එකකුත් දීලයි තිබුනේ.
“ඇයි ......? චේන් එක බේරුවෙ නැත්තං උඔ මොනවා කරන්ඩද?”
“මගේ කරුමේ..... මං යනවා යකෝ මගේ ගෙදර..... මට මගේ අම්මා අප්පා ඉන්නවා ..... උඔ වගේ.......”
“ඉන්ඩ බැරිනං පල..... පට්ට.........”
ජයපාල අයියා බයිසිකලේ අරං එක හැල්මට පොලට පැද්දා. හවස එනකොට මාලනී අක්කා පොඩි එකීත් අරන් ඇත්තටම ගෙදර ගිහින්.

“ඒ පැත්තෙ ගිහින් බලමුද..?”
මම ඇහුවේ ඒ වෙලාවෙ වෙන වැඩක් නොතිබුන හින්දා.
“ඕන් නෑ බං..... මං කෝල් එකක් දුන්නා. දවසකින් දෙකකින් එයි.....”

ඉතිං සිද්ද උනේ ඔච්චරයි. මේ සිද්ධිය බ්ලොග් එකේ ලියන්ඩ යන බව මගේ අතීසාර මිත්‍රයෙකුට කිව්වහම ඌ කියනවා ඕක දැම්ම නොදා තව මාසයක් දෙකක් බලලා ඒවත් එක්කම දාපංලු. හැබෑටම මුන්ටත් කල දවස යනවනේ. අපිට මොකටද අනුන්ගේ දේවල්. නැද්ද මං අහන්නේ?

Tuesday, August 10, 2010

අනේ පව්...!

මගේ දුවේ......

උඹේ පින්තූරයක් දාලා

උඹට 'අනේ පව්' කියලා......

මගේ වැඩක් බලාගන්න

මම නම්................?

jhgghj

Wednesday, August 4, 2010

උගේ වම් අත

“මං ඉස්සරහම අතක් තිබුනා ........ පිරිමි... මැදිවයසේ වෙන්න ඕනෙ...... ඒක වම් අතක්.....”

ඒ මොහොතේ අපි දෙන්නා උන්නෙ බම්බලපිටියේ මුහුදට ආසන්නව පිහිටා තිබූ ගරාවැටෙමින් පැවති විශාල නිවසක පිටත කාමරයක් තුල. කාමරය මැද පිහිටි තට්ටු දෙකේ ඇඳන් දෙකක උඩ තට්ටු දෙකේ වැතිරිලා. අහසත් අපිත් වෙන්කරපු සුදු සිවිලිම දිහා බලාගෙන. ඒ සිවිලිම අයිති අපෙන් හම්බකරගත්තු සිකියුරිටි කොම්පැනියට. තුසිතටත් මටත් මෙතන ඉන්න අපේම හොඳ හේතු තිබුනා. තුසිත aat ඉවරකරගන්නකං. මම ලංකාවේ ස්පිල්බර්ග් වෙලා ඔස්කාර් එවෝර්ඩ්ස් ගන්නකං. (බැරිම උනොත් ‘සරසවි’ වත්.)

ඊට දින හතරකට කලින් ලංකාවේ එවක පැවති යුද්ධය (වාර්ගික සිවිල් අරගලය/එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය/ දෙමල විමුක්ති අරගලය/ තෙවැනි ඊලාම් යුද්ධය/බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය/දෙමල කොටි/...../.....) විසින් තවත් සමූහ මිනිස් බිල්ලක් මරදාන ස්ටේෂන් එක ඉදිරිපිටදී අරන් තිබුනා. ඒ බිහිසුණු හඬ ඇසෙන මොහොතේ තුසිත උන්නේ දවස් එකහමාරෙ නිවාඩුවකට පෝස්ට් එකේ ඉඳන් කෙලින්ම ගෙදර යන්න, පයින්ම මරදාන ස්ටේෂන් එකට යන ගමන්. ගමන ඉවර වෙන්න මිනිත්තු එකකටත් අඩු දුරක් තිබියදී.

කන් බිහිරි කරවන ඒ හඬ ඔහුව ක්ෂණිකවම හිස් අවකාශයකට ඇදලා දැම්මා. තත්පර කිහිපයක් තුල ඉන්ද්‍රිය සංවේදනයන් නැවත සෙමින් ඇර‍ඹෙනවාත් සමගම සිදුවූ දේ ඔහු අනුමාන කලා. ඊළඟ තත්පරේදි අඩියක් ඉස්සරහට තිබ්බා. ඊළඟ මොහොතේ සියළු නිසල දෑ පසු කරමින් ඔහු වේගයෙන් ඉදිරියට යමින් සිටියා.
“මාව ගැස්සුනා...... ඒක බයක්ම නෙමේ බං.... මොන මගුලක්ද මන්දා.... මට හිතුනෙම ගිහින් බලන්ඩ........”
අර මුලින් කියාපු ‘වම් අත’ ඔහුට හමුඋනේ එතනදි.

ඔහු එතනට යන විට නැවත මිනිසුන් රැස්වෙමින් සිටියා. මහා විශාල ගාලගෝට්ටියක් මැද උනත් ඔහු දැකලා තිබුනේ එකම දෙයයි.
“වැලමිටෙන් පහල එච්චර හානියක් වෙලා තිබුනේ නෑ....... වෙදැඟිල්ලයි සුලැඟිල්ලයි ටිකක් නැමිලා. ඇඟිලි ඉහිරිලා තිබුනේ............”
“උඔ මාර පිස්සෙක්නෙ බං....... යකෝ අඩුගානෙ තුවාල කාරයෙක් උස්සන්ඩ වත්....”
“මට එහෙම නිනව්වක් තිබ්බෙ නෑ බං....... අර අත දැක්කට පස්සෙ.... මන්දා......”
“මට පේන්නෙ උඔ බය වෙච්ච පාර ඔලුව මඥ්ඥං වෙලා..... අඩුගානෙ මනුස්සයෙක් හැටියට උඔට තිබුනනේ එතන මොනවා හරි කරන්න.....”
“මන්දා........”
“නැත්තං අනිත් උං ආපහු දුවද්දි උඔ අහවල් එකකටද එ‍තෙන්ට ගියේ......?”
“මං හිතන්නෙ.. දෙවියන් වහන්සේ මාව පරීක්ෂා කලා.........”

සති දෙක තුනක් යද්දි දෙවියන්ගේ පරීක්ෂාව තරමක් දුර දිග යමින් තිබුනා. දිගින් දිගටම වැඩ පැහැර හැරීම නිසා ලොක්කන්ගේ චෝදනා තරවටු කිරීම් තරමට උත්සන්නව තිබුනා.
“උන්ට කුද ගහගන්ඩ කියපං...... මොකටද බං මේවා කරලා..... මිනිහෙක් කුඩු වෙන්ඩ යන්නේ තත්පර බාගයයි.......
අතක් වෙන්උනාම .... ඒ අත අර මිනිහා නෙමේ. ඒත් එහෙම නොවෙන්නෙත් නෑ....... සමහරවිට ඔය අත උදේ දරුවෙකුගේ ඔලුව අත ගාල එන්ඩ ඇති.........”
“හහ්..... ඔව්...... පස්ස හෝදන්ඩත් ඇති.....”
“පලයං බං මැරිච්ච මිනිහෙකුට අපහාස නොකර....”

දිනෙන් දින උග්‍රවන නිහඬතාව දරාගන්න බැරිම තැන දවසක් මම දන්න හොඳම යෝජනාව කලා.
“බොමුද....?”
“උඔ දන්නවනේ... මං ඔය ජරාව බීලත් නෑ... බොන්නෙත් නෑ...... උඔට ඕන්නං බීපං...... වෙරි උනොත් මං බලාගන්නං...... හහ්... හහ්....”
තුසිත හයියෙන් හිනාවෙනවා මං අන්තිමටම දැක්කෙ එදා.
තුසිතව පවා.

පහුවදා මම ඇහැරෙනකොට තුසිත 7 ෂිෆ්ට් එකට ගිහින්. මට සහලෝලා උණ. අමාරුවෙන් සේවා ස්ථානයට ගිය මට පැනලා නිවාඩු දුන්නා.
“ඕක අර වෛරස් උණේ.... දවස් 7 ක් තියෙනවා... ඔයා දැම්ම ගෙදර යන්ඩ. සල්ලි තියෙනවද?”
ඒ රුපියල් පන්සීය සාක්කුවේ දාගෙන ගෙදර ආපු හැටි මටවත් මතක නෑ.

මගේ දවස් හත, දාහතර උනේ ඒ බෝම්බ පිපිරෙන යුද පිටියට නැවත මාව නොයවන්න ගෙදර තීරණය කල නිසා. සති දෙකකින් මම ගියේ දවස් විසිතුනක පඩි සල්ලියි ඇඳුම් බෑග් එකයි ගේන්න. එතකොට තුසිත වෙන පෝස්ට් එකකට දාලා. අර කාමරේ මැද්දෙ ඇඳක් උඩ පණිවිඩයක් තියලා මං ආපහු ආවා.
(පඩි සල්ලි?......... පිස්සුද?)

කීපවරක්ම සේවා ස්ථානයට කතා කලත් තුසිතව අල්ලගන්න බැරි උනා. තවත් මාසයකින් විතර කතා කලාම කිව්වා තුසිත අස්වෙලා ගියා කියලා. මම වෙන්නප්පුවට ගිහින් අමාරුවෙන් ගේ හොයා ගත්තා.
“මේ ළමයා ඉගෙනීම නවත්තලම දැම්මනේ...... පස්සෙ මං අඳුරන මාබෝලෙ පැත්තෙ කොම්පැණියකට දැම්මා. දැං එහේ නැවතිලා වැඩ. මිනිහට නිවාඩු නෑ........”
හිටපු මැලේරියා මර්ධන නිලධාරියෙක් උනු තුසිතගේ තාත්තා දුන්නු දුරකථන අංකයත් අරන් මං ආපහු ආවා. ඒ අංකය කවදාවත් වැඩ කලේ නෑ.

අවුරුද්දකට විතර පස්සේ කොළඹ මොකද්දෝ විකාර වැඩකට ගිහින් එන ගමං මං වෙන්නප්පුවට ආවා. ගෙදර වෙනසක් මට දුරදීම දැනුනා.
“තුසිත....?”
“මේ...... මේ පුතානෙ...... නෝනෙ....!”
මට ඉතුරු ටික හිතාගන්න පුළුවන් උනත් අදහගන්න බැරිව උන්නෙ.
“පුතාට අසනීප උනා. දොස්තරලටත් ලෙඩක් හොයාගන්න බැරුව උන්නෙ.... හොස්පිට්ල් එකේදි එයාට දෙවියන් වහන්සේගෙ බලයක් තියෙනවා කියලා එක එක දේවල් කරන්ඩ අරං........ සමහර ලෙඩ්ඩු ඇත්තටම හොඳ කරලත් තියෙනවලු....... පස්සෙ පුතා හොඳටම සනීප වෙලා ගෙදර ආවේ.... දවස් හතරක් හොඳට හිටියා......”

තුසිතගේ උදරයේ තිබිලා දියවෙමින් පැවති මැලේරියා පෙති දෙසිය ගණනක් වෛද්‍යවරු හොයාගෙන තිබුනා. ඔහුගේ සොහොනට යන විදිහ පියා මට කියලා දුන්නා. සොහොනක් කියන්නේ මිනිහෙක් නෙමේ. එහෙම නොවන්නෙත් නෙමේ.
මම ගියේ නෑ.

මරදාන බස් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 53 ක් කියලයි ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වල තියෙන්නේ. ඒත් ඇත්ත ගාන ඊට වැඩියි. ඒක අඩුම ගානේ 54 ක් වත් විය යුතුයි. දිගට දිගේ මේ කතාව ලියවෙද්දි ඒක කෙටි කරන්න මං පැකිලුනේ ඒ සඳහා මට තියෙන මේ සාක්ෂියට හානියක් වෙයි කියන බයට.
(හෘදයාංගම මිතුරෙකුගේ මතකය වෙනුවෙන්.)

Monday, August 2, 2010

රමණීගේ හැන්දෑව


හැන්දෑවේ කලුවරට‍
බෑං ගා අඬ‍ාගෙන
හෝන්දු මාන්දුව
බිත්තියට වාරු වෙන කල
දොරපලුව,
කලු සුරුට්ටු ගඳ පළමුව
පිපිරුනු කලු නියපොතු ඇති
නාකි නහර පය දෙවනුව
ගෙට අරගෙන.........
කොරවක්කෙක් මෙන් වකුටුව
එළිපත පැන එයි ඇතුළට.....
නාට්ටාමි සැම්සනයා
හෙවත් අපේ තාත්තා.

නාස් දෙපුට්ටෙන් හොටු රැල්
කබල් කමීසෙට උර උර
හෙලුවැල්ලක් වැහෙන්ට‍ නොව
පුරුද්දකට ඔහේ අඳින
බොත්තම් නැති කොට කලිසම
අතින් අල්ලගෙන හැලි හැලි
සිලි බෑගේ මක්කාදැයි
උනන්දුවෙන් එබී බලයි
වේස දයාගේ කොලුවා
හෙවත් අක්කගේ දරුවා.

කෝටු කකුල් දෙක පෙනි පෙනි
රතු කොට කලිසම ඇඳගෙන
ඉර අව්වේ දවල් දවසෙ
අත් වැඩ දී හෙම්බත් වී
කොල්ලන් රැල වට කරගෙන
හොක් හොක් ගා හිනාවෙවී
බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි...
මදාවි ආනන්දපාල
හෙවත් අපේ පැටි අයියා.

ඉස්කෝලේ ගිහින් එද්දි
බුලත් බංකුවේ ඇසිඩගෙ
හෙවත් අපේ අම්මාගේ
සොහොන ළඟදි
කණස්සල්ලට පිපිරිලා
ඇස්බෝල තාම ඇඬුවත්...
කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්
විද්දියාව පොත කියවයි
පස්ස පේලියේ රමණී......
හෙවත් මම හෙවත් හිච්චී....

- ගයාත්‍රි කුමාරි ගරුසිංහ


90 දශකයේ මැද හරියේ විතර (මම හිතන හැටියට) රාවය පත්තරේ පළවුන මේ කවිය සහිත පිටුව මට ලැබුන ගමන්ම කලේ කවිය කපලා අලවගන්න එක. මිනිස්සු දිහා වෙනස් විදිහකට බලන්න පුලුවන් කියන හැඟීම මට මුලින්ම ඇතිකලේ මේ වචන ටික.
නොහඳුනන ගයාත්‍රි,
ඔබට ස්තුතියි.


Follow by Email