පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ලාංකීය ප්රජාතන්ත්රවාදයේ මළගම ලෙස මා ඉත සිතින් අදහමි. එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්කල සැප්තැම්බර් 08 වෙනිදා මා විසින් මෙම බ්ලොගය කට්ට කළු කර මගේ අත්‍යන්ත විරෝධයද පළකලෙමි. මා විසින් ගත් එම පියවරෙන් රජය යම් අපහසුතාවකට පත්වූ බවද පැහැදිළිවම පෙනෙන්නට තිබූ අතර ව්‍යවස්ථාව සම්මත වූ දිනට පසුදා කෙහෙළිය රඹුක්වැල්ල ගරු ඇමතිතුමා හට, නව ව්‍යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්ර විරෝධී නොවන බවට විශේෂ ප්‍රකාශයක්ද මාධ්‍ය හමුවේ කිරීමට සිදුවිය. රූපවාහිනී නාලිකා ඔස්සේද විකාශය වූ එම ප්‍රකාශයේ කොටසක ‘දේශද්‍රෝහී කඩාකප්පල්කාරීන්’ යන අන්වර්ථ නාමයෙන් එතුමා විසින් හඳුන්වන ලද්දේ මාවය. (මෙය අප දෙදෙනාගේ පුද්ගලික කෝන්තරයක් නොවන අතර, එය ‘දේශපාලන පසමිතුරුතාවය’ නම් දේශපාලනික අර්ථයෙන් සලකන මෙන් ඉල්ලමි).
ඇත්තෙන්ම පසුගිය දිනවල මා හට පැවති විශාල ගැටළුවක් වූයේ 18 වන සංශෝධනයට එරෙහිව අප ගෙනගිය අරගලයේ ගමන් සගයන් වූ ප්රගතිශීලීන් බහුතරයක්, මේ වන විට 18 ක් සම්මත නොවූ ලෙස කටයුතු කරමින් සිටීමයි. කොටින්ම බොහෝ දෙනෙකුට යන්තම් මීට මාස එකහමාරකට කට පෙර සිදුවූ මෙම ඛේදවාචකය සහමුලින්ම අමතක වී ඇති බව පෙනීයාම සිත් වේදනා උපදවන්නකි.
අතිගරු ජනාධිපතිතුමා විසින් වරක් ප්‍රකාශ කල ‘අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වැදගත්’ යන ප්‍රකාශයට අනුව, මා විසින් මෙම අරගලය තනිවම හෝ ඉදිරියට ගෙනයාමට අදිටන් කර ගත්තේ එබැවිනි. ඇත්තෙන්ම මෙවන් දැවැන්ත ව්‍යාපාරයක් තනිවම ගෙනයාම අසීරු හෙයින් අවම වශයෙන් මගේ සමීපතමයා වන බිරිඳගේ හෝ සහයෝගය ලබාගැනීම සඳහා පසුගිය දිනෙක ඈ ඇමතීමි.
“මේ...... 18 වෙනි සංශෝදනේ......?”
“මොකක්?”
“ඇයි අර පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට ගෙනාවෙ....? 18..?”
“ඉතිං...?”
“ඒක ගැන විරුද්ද උනු කවුරුවත් දැං මීක් කියන්නෙ නෑ.... රනිල්ලා...... තිස්ස අත්තනායකලා ඒ කාලේ......”
“අනේ.... මේ...., අද තිස්ස මාමලගේ සීට්ටු සල්ලි දෙන්ඩ ඕනෙ.... මොකද කරන්නෙ...?”
ඇය සිහිපත් කලේ අතේ රුපියල් විස්සක්වත් නොතිබූ මා හවස් වීමට ප්‍රථම එක්දාස් පන්සීයක ලෝන් එකක් ගැසිය යුතු බවයි.
නැවත එදින රාත්‍රියේද මා විසින් ඇයට මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කලෙමි.
“ඒ දවස්වල උනත් ජේ.වී.පි එක ඇරුණාම ඕක ගැන දැනෙන්ඩ කතා කලේ සිවිල් බුද්ධිමතුන් ටිකක් විතරයි. දැං මතකද දයාසිරි කිව්වා උපවාසයක්ද මොකද්ද කරනවා කියලා.......?”
“මේ... ඔයා හිතන්නෙ දයාසිරි එයිද....... පබා එයිද.......?”
එය මෙගා ස්ටාර් සංවාදයක් බවට පත්වූ අතර පැහැදිලි කිරීම පසුදාට කල්තැබීමි.
පසුදින උදෑසන මා විසින් ඇයව දැනුවත් කිරීම සඳහා රසවත් උදාහරණ කිහිපයක් යොදාගැනීමට තීරණය කලෙමි.
“දැං බලන්ඩ...... ඔය ඒකාධිපති බලතල පාවිච්චි කරලා දැනටමත් කොළඹ මුඩුක්කු ගෙවල්වල ඉන්න මිනිස්සු........”
“මේ.... ඒක නෙමේ. ගෙයි වහලෙ ගහන්නැද්ද? උළුවහු ජනෙල් ටිකත් දිරලා ගිහින්...... හැමදාම මේකෙ ගුලිවෙලා.........”
ඇත්තෙන්ම ඒ සෑම විටකදීම සිදුවූයේ මගේ අවශ්‍යතාවය පරයන ඇගේ වෙනත් අවශ්‍යතාවක් පෙරට පැමිණීමයි. රන් මාලයේ උකස බේරා ගැනීම, දරුවාට ඇන්කර් පීඩියා ප්‍රෝ දීමේ වැදගත්කම, තෑගි ලෙස ලැබුනු සාරියට හැට්ටයක් මැසීම, සහල් මිල එකවර ඉහලයාම, කවුරුන් හෝ නිවස අසල දමාගොස් සිටි පූස් පැටවුන් තිදෙනාගේ කරදරය, ඇගේ දකුණු අත හිරිවැටීමේ රෝගය, විදුලිය කැපීමට පෙර රතු බිල ගෙවා දැමීම වැනි බොහෝ දෑ ඒවා අතර විය. ඒවා සියල්ල ඇගේ ප්රමුඛ අවශ්‍යතා බව මගේද පිළිගැනීමයි.
ඇගේ අවශ්‍යතා පසෙක ලා මගේ අවශ්‍යතාව වෙනුවෙන් පැමිණෙන ලෙස ඉල්ලා සිටීම ප්රජාතන්ත්රවාදියෙකු වශයෙන් මට කල නොහැකිය. එමෙන්ම ඇගේ සහයෝගය බලහත්කාරයෙන් ලබාගැනීමද දේශපාලන සදාචාරයට පටහැණි කටයුත්තකි. ඒ අනුව සිදුකල යුත්තේ පළමුව ඇගේ ප්රමුඛ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කිරීමයි.
ඊයේ රාත්රියේදී අප දෙදෙනා විසින් බොහෝ වෙහෙස වී ඇගේ අවශ්‍යතා ප්‍රමුඛතා ගත කොට ලැයිස්තුවක් සකස් කළෙමු. එම ලැයිස්තුවට අනුව ‘18 වන සංශෝධනයට එරෙහි වීම’ ඇත්තේ 637 වෙනියටය. ඒ අනුව ඊට ප්‍රථමයෙන් ඇති ප්රමුඛ අවශ්‍යතා 636 කඩිනමින් සම්පූර්ණ කිරීම මා විසින් දැනටමත් අරඹා ඇත. එම කටයුත්ත අවසන් වූ සැණින්, ලාංකීය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මමත්, මගේ බිරිඳත් නව ජවයකින් පෙරට ඒමට නියමිත බව මෙම ඒකාධිපති ආණ්ඩුවටද, සියළු ප්රගතිශීලී ජනයාටද, මෙයින් දන්වා සිටිමි.